අතුල ජයසිංහ
7:14 am in Sri Lanka by iilanka
වැව්බැඳි රජරට පුරවරයෙන් බිහිවූ මෙරට සිටින තවත් එක් විශිෂ්ඨ කලා කරුවෙක් පිළිබඳව මෙවර අපි කතා කරන්නෙමු. නම කියන්නට මත්තෙන් ඇයිද විමසා බලමු අප මොහු විශිෂ්ඨයෙකු ලෙස හඳුන්වන්නේ. විටෙක මොහු නළුවෙක්, තවත් විටෙක නට්‍ය අධ්‍යක්ෂක වරයෙක්. කෙටි චිතපට අධ්‍යක්ෂණය හරහා සිනමාව ද අත්හදාබලන මොහු තවත් විටෙක හඩකැවීම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. කලාවේ විවිධ මංපෙත් සිය ගමන් මඟ සඳහා තෝරාගත් මේ විශිෂ්ඨ කලා කරුවා අතුල ජයසිංහයි.

අනුරාධපුර තඹුත්තේගම නල්ලච්චිය ගම්පියසේ සිය ළමාකාලය ගෙවාදමන අතුල එහි පැමිණෙන්නේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවයෙන් පසු ඉන් ඉවත්ව ගොවිතැන් කටයුතු සඳහා තඹුත්තේගමට පැමිණෙන දෙමාපියන් සමඟින්. සහෝදරයන් දෙදෙනෙකු සහ එක් බාල සහෝදරියක් සිටින පවුලේ තෙවැන්නා වන අතුල සිය කලා ගමනේ ආරම්භක නියමුවා ලෙස අදටත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ සිය වැඩිමහල් සොයුරාවයි.”මම අට වසරේ ඉන්න කාලෙ තමයි මගේ ලොකු අයිය මට වදරින් හයිට්ස් වගේ පොත්පත් ගෙනල්ල දීල මාව කියවීමට යොමුකලේ, ඒ වගේම මම උසස් පෙළ කරන කාලය දක්වාත් මගේ තාත්තා අපේ ගෙදරට රූපවාහිනියක් ගෙනාවේ නෑ. මේ හේතු නිසා මගේ ළමා කාලයේ කියවීමට සහ ගුවන්විදුලියට සවන් දීමට ඒ වගේම නිදහසේ පරිසරයේ දුව ඇවිදින්නට මට අවස්ථාව ලැබූනා. මම හිතන්නේ අද මම කරන කියන හැම දෙයක් පිටිපස්සෙම තියෙන්නෙමේ කියන මම විඳි ළමාකාලය. ඒ නිසාම මම විශ්වාස කරනවා ළමයෙකුගේ ඉදිරි ගමනට හොඳ පදනමක් පවුල් පසුබිම තුල දමන්නට පුළුවන් කියලා.”
නල්ලච්චිය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරන අතුල උසස්පෙළ සඳහා තඹුත්තේගම මධ්‍යමහා විද්‍යාලයට ඇතුළු වෙනවා. රඟපෑමට තිබූ උවමනාව නිසාවෙන්ම නළුවා යන අනවර්ථ නාමයක්ද අතුලට ලැබී තිබෙනවා ඒ සමයේ. විශ්ව විද්‍යාල සුදුසුකම් සඳහා ලකුණු මඳ වූ හෙයින් සිය සිහිනය වූ නළුවෙකු වීම අපේක්ෂාවෙන් අතුල ජාතික තරුණසේවා සභාව හා එක්වෙන්නේ එක්දහස් නවසිය අනූ නවය වසරේ. වසන්ත දුක්ගන්නාරාළ, දිමුතු චින්තන ආදීන්ගේ මඟපෙන්වීම යටතේ සිය හැකියාවන් කරළියට ගෙන එක අතුල මෙතෙක් කල් තමා උගත් සියල්ල නිසිආකාරයෙන් උගැන්මට කොළඹට පැමිණෙනවා. පුරා වර්ෂයක් මහරගම තරුණසේවා සභාවේ ශිල්ප හදාරන අතුල එහිදී වේදිකාව ජයගන්නට අවැසි බොහො දේ ඉගෙනගන්නවා. ඉන් පසු ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙනිය, බන්දුල ජයවර්ධන, බන්දුල විතානගේ, ඩග්ලස් සිරිවර්ධන වැනි වේදිකාවේ යෝධයන් සමීපව ඇසුරු කරමින් තමා උගත් න්‍යායන් පායෝගික තලයේ යොදාගන්නවා. රජගහේ නාඩගම, සිංහබාහු ආදියේ අංග රචනයට අතුලට දායකවන්න ලැබෙන්නේ මේ අතරතුරයි. වේදිකාව හා ගැටෙමින් සිටි අතුලගේ ගමන්මඟ වෙනස් කරමින් 2002 වසරේදී ඔහු සිරස මාධ්‍ය ආයතනය සමඟින් අංග රචනා ශිල්පියෙකු ලෙස සම්බන්ධ වනවා.වැඩසටහන් සහය අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් එහි කටයුතු කරන අතුල හඩ කැවීම් ශිල්පියෙකු වශයෙන් සහ හඩකැවීම් අධ්‍යක්ෂක වරයෙකු ලෙසින් ලොව පුරා ජනාදරය දිනූ ටොම් ඇන්ඩ් ජෙරී, ස්කුබි ඩූ ආදී කාටූන් මාලාවන් මෙන්ම ළමා සිනමා කෘති ගනනාවක් සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා.
යළිත් වරක් සිය ගමන් මඟ වෙනතකට යොමු කරමින් සිය මාධ්‍ය ලෙස කෙටි සිනමාව තෝරාගන්නා අතුල අධ්‍යක්ෂණය කර ඇති කෙටි චිතපට ගනන හයකි.ඒ අතර තුර මෙතෙක් කලක් වේදිකාවේ පසුපසින් සිටි අතුල වේදිකාවේ ඉදිරියට ගෙන එන්නට ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ කලම්බු කලම්බූ වේදිකා නාට්‍ය සමත් වෙනවා. එහි රංගන ශිල්පියෙකු වශයෙන් අතුල මහත් කාර්ය භාරයක් ඉටුකරනු ලබනවා. ජාත්‍යන්තර උළෙල ගනනාවක් නියොජනය කර ඇති එය මේ දක්වා ලබා ඇති සම්මාන සහතික පිටුපස ඇති ශක්තිය අතුල ඇතුලු කලා ශිල්පීන් එතමුතුවයි. එමෙන්ම අතුලගේ අධ්‍යක්ෂණයක් වන ඩාක්නස් සිනමා කෘතිය ජාත්‍යන්තර උළෙල සඳහා මේ වන විටත් ඉදිරිපත් කර තිබෙනවා. සිය කෙටි සිනමා නිර්මාණයම වේදිකාවට ගෙනඒමේ අතුලගේ උත්සාහය ඩාක්නස් කෙටි නාට්‍ය ඔස්සේ දැකගත හැකිය. එය දැනට රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයේ සිටින නාට්‍යයකි.”වේදිකා නාට‍්‍යයක් කියන්නෙ කටුක සොඳුරු අත්දැකීමක්. මහත් වෙහෙසක් දරා කරනු ලබන පුහුණුවීම් වලින් අනතුරුව දර්ශණ වාරයේදී පේක්ශකයා දක්වන පතිචාර හරිම සොඳුරුයි.” ඒ වේදිකාව පිළිබඳ අතුලගේ මතයයි.
රසිකත්වය බිඳවැටීම සම්බන්ධ අතුලගේ මතය තරමක් වෙනස්. රසිකයාට විඳින්නට හැකි නිර්මාණ නිර්මාණකරුවා තුලින් බිහිවන්නේනම් අදටද හොඳ රසික පිරිසක් වේදිකාව වටා සිටිනා බව ඔහුගේ අදහසයි. උසස් නිර්මාණ එළිදැන්වීමේදී රංග ශාලා පිරී යාමම එයට සාක්ෂියක් ලෙස ඔහු ගෙනහැර දක්වයි.එමෙන්ම අගනුවරින් ඔබ්බෙහි රංග ශාලා නොමැතිකමින් දුරබැහැර රසික පිරිස වේගයෙන් වේදිකාවෙන් දුරස්වීම පිළිබඳ කණගාටුවට පත්වන බවත් වගකිව යුත්තන්ගේ අවධානය ඒ පිළිබඳව යොමුවෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය. රටක මහජනයා අන්ධවී ලබන භෞතික දියුණුව අර්ථවත් නැති බවත් එබැවින්ම රසිකත්වයත් සංවේදීත්වයත් මිනිසුන් කෙරේ බැඳ තබන කලාව සියළු මිනිසුන් සමීපයේ තිබේවා යන්න සිය අපේක්ෂා බවත් ඔහු අප හා පැවසීය.






