Avatar of iilanka

by

අනුරපුරයේ අටමස්ථාන

January 30, 2012 in Ancient Sri Lanka, Sinhala, Sinhalen

වැඩිම කාලයක් මෙරට අගනුවර ලෙස යොදාගත් නගරය වන්නේ ඓතිහාසික අනුරාධපුරවරයයි.ඒ හේතුව නිසාවෙන්ම ඉතිහාසය, පුරා විද්‍යාව මෙන්ම බෞද්ධාගමික සාධක සහ නටඹුන් අතින්ද අනුරාධපුරය සෙසු රාජධානි පැවතුනු නගර වලට වඩා පොහොසත්ය. දෙවන පෑ තිස් රජ දවස භාරත දේශයේ සිට මිහිඳු මා හිමි මෙරටට බෞද්ධ ධර්මය ගෙන ආ දින පටන් මෙරට පාලකයෝ ස්වකීය ජනතාවට වන්දනාමාන කිරීමටත් තමන්ගේ පින් වැඩිකරගැනීමත් අරමුණු කරගෙන වෙහෙර විහාර ඉදිකරන ලදී.ඒ අතරින් අතීතයේ පටන් බෞද්ධයන්ගේ අපරිමාන ගෞරවයට ලක් වූ සිද්ධස්ථාන අටක් අනුරපුර පුදබිම අවට පිහිටා ඇත. අටමස්ථාන නමින් හඳුන්වනු ලබන මෙම ස්ථාන පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම ලිපිය තුළින් කිරිම අපගේ අරමුණයි.ලොක උරුමයක් වන අනුරාධපුරයේ වන්දනා චාරිකාවක් යන්නට අදහස් කරන කාට වුවද තමන් යන ගමන පිළිබඳ යම් අදහසක් මෙම ලිපිය තුළින් ගත හැකිය යන්න අපගේ අදහසයි.
අටමස්ථාන අතර මුල් තැන හිමිවන්නේ ගෞතම බුදුන්ට බුද්ධත්වය ලබාගැනීමේදී සෙවන දුන් ජයසිරිමහා බෝධීන් වහන්සේටයි. ඉන්දියාවේ පිහිටි බෝධීන් වහන්සේගේ ශාකාවක් වන මෙය දැනට ලොව පවතින පැරණිතම වෘක්ෂයක් ලෙසද සැලකේ.පොළව මට්ටමෙන් අඩි 35ක් පමණ ඉහලින් වන බොධිඝරයක රෝපණය කර ඇති මෙම බෝ වෘක්ෂය දැනට ඇති බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන පැරණිතම වෘක්ෂයද වන්නේය.උඩ මළුවේ රෝපිත මෙම ‍බොධියෙන් හටගත් අංකූර ශාකා අෂ්ඨ පල බෝධීන් ලෙසින් හැඳින්වෙන අතර ඒවා රටේ සිවි දිග ‍බෞද්ධ සිද්ධස්ථාන වල අතීත රජවරුන් විසින් රෝපණය කර ඇත.අතීතයේ වන සිව්පාවුන්ගෙන් මෙම බෝධියට සිදුවන හානි වලක්වා ගැනීමට වෙනමම කැපවූ පිරිසක් මෙම අවට ගිණිමැල ආදිය දල්වාගෙන මුරකාවල් යොදා සිට ඇත.දකුණු ඉන්දීය පාලකයන්ගේ සමයන්හිදී පවා මෙම වෘක්ෂයට කිසිදු හානියක් සිදුකළ බවට වාර්තා වී නැත.

උඩමළුවේ සිට බැලූ මානයේ පිහිටා ඇති ස්වේත වර්ණ මහා දාගැබ අටමස්ථානයන් හි තවත් එක් වටිනා සිද්ධස්ථානයකි.දුටුගැමුණු රජුන් විසින් ඉදිකරන්නට යෙදුනු මෙම මහා දාගැබ ස්වර්ණමාලී මහා සෑයයි. රුවන්වැලි සෑය නමින්ද හඳුන්වනු ලබන මෙය මීටර 55ක් පමණ උසට ඉදිකර ඇති බුබ්බුලාකාර ස්වරූපයේ චෛත්‍යයකි. ලක්දිව එක්සේසත් කිරීමෙන් අනතුරුව නිර්මාණය ඇරඹී මෙම මහා සෑයේ අවසානය සියැසින් දැක ගැනීමට මෙයට මූලිකත්වය දුන් දුටුගැමුණු රජුට හැකියාව ලැබී නැත. එබැවින් මරණාසන්න රජු මෙම සෑය අබියසට රැගෙන විත් එය නිර්මාණය කර ඇති වග පෙන්වීමට උණ බම්බු සහ සුදු රෙදි ඔතා තාවකාලිකව නිම කරන ලද චෛත්‍යය රජුට පෙන්වීමට ඔහුගේ සොයුරු කටයුතු කර ඇති බව පුරාවෘත්ත වල සඳහන් වෙයි.

රුවන්වැලි සෑය පෙනෙන මානයේ පිහිටා ඇති ගල් කුළු රැසකට මැදි වූ කුඩා චෛත්‍යය ථූපාරාමයයි.මිහිඳු හිමියන්ගේ සමයේම ඉදිවූ මෙය ලක්දිව මුල්ම චෛත්‍යය ද වන්නේය.දේවානම් පියතිස්ස රජුන් විසින් කරවූ මෙහි මුල් හැඩය ධාන්‍යාකාර වූ බව පුරාවිද්‍යා මතයයි.ස්ථූපයක් මැදිකොට තැනූ ආරාමය යන අරුත මෙය‍‍ට ලබා දී ඇත.මෙහි උස මීටර 19ක් පමණ වෙයි.ගල් කුළු මත ඉදිකරන ලද දැවමය වහලයකින් ආවරණය ලද මෙවැනි ස්ථුප වටදාගෙය නමින් හඳුන්වනු ලැබේ.

දුටුගැමුණු රජු විසින් අදින් වසර දෙදහසකට පමණ පෙර ඉදිකරන ලද සංඝාවාසයක් උඩමළුවටත් රුවන්වැලි මහා සෑයටත් අතරේ පිහිටා ඇත. අටමස්ථාන අතර තවත් එක් වැදගත් ස්ථානයක් වන මෙය ලෝවාමහාපායයි.දැනට ඉතිරිව ඇත්තේ ගල් කණු 1600ක් පමණ වුවත් එදා හෙළ රජ දවස මහා සංඝරත්නය දහසකටත් වඩා නවාතැන් පහසුකම් සැලසූ මහල් නවයකින් යුතු සුවිසල් ගොඩනැගිල්ලක්ව පැවතුණු මෙම සිද්ධස්ථානයේ වහලය පිත්තලෙන් නිර්මාණය කර තිබූ බවට මතයක් පවතී.

මුල් යුගයේ ජේතවනාරාමය ලෙසින් හඳුනාගනු ලැබූවද පසුකාලීනව අභයගිරිය ලෙසින් ස්ථිර කරගත් මහා සෑය අටමස්ථානයේ තවත් එක් වැදගත් ස්ථානයකි.දැනට ගරාවැටී ඇති නමුත් සංස්කරනයන් සිදුවෙමින් පවතින මෙය එදා මෙරට බෞද්ධාගමික මධ්‍යස්ථාන අතර මුල්තැන ගත් විහාරාරාම සංකීරණයක්ව පැවත ඇත. මෙය වළගම්බා රජුගේ ඉදිකිරීමකි.එවකට සංඝයා වහන්සේ 5000ක් පමණ මෙහි වැඩවිසූබව සඳහන්ය.සොලී පහරදීම් හමුවේ පලායමින් සිටි වලගම්බා රජුට “මහා කලු සිංහලයා පලා යනවා” යැයි කියමින් නින්දා කල ගිරි නම් ජෛන පූජකයෙක් මෙහි විසූ බවත් රජු නැවත රජවූ පසු ගිරි පලවා හැර තමාට සැඟවී සිටි සමයේ උදව් උපකාර කල හිමි නමකට මෙම විහාරය කරවා පූජාකල බවත් සඳහන්ය.

දැනට සංරක්ෂණය කර ඇති අභයගිරිය තරමේම තවත් එක් මහා සෑයකි ජේතවනාරාමය. අටමස්ථාන අතර තවත් එක් වැදගත් ස්ථානයක් වන මෙය මහසෙන් රජ සමයේ ඉදිකරනු ලැබ ඇත.දැනට මෙය උසින් මීටර 70ක් පමණ වන නමුත් එය එවකට මීටර 100ක් පමණ වන්නට ඇති බව පුරාවිද්‍යා මතයයි.මෙය ලොව තෙවැනි උසම ඓතිහාසික ඉදිකිරීමද වන්නේය.වර්ෂ එක්දහස් නවසීයේදී පමණ ලියැවී ඇති බිතාන්‍ය කෘතියක සඳහන්ව ඇත්තේ මෙම දාගැබේ වූ ගඩොල් වලින් ලන්ඩන් නුවර සිට එඩින්බර්ග් දක්වා මීටර තුනක පමණ සෘජු බැම්මක් ඉදිකලහැකි බවයි.මෙය එවකට සංඝයා වහන්සේලා 3000කට පමණ නවාතැන් පහසුකම් සැලසූ බව සඳහන්ය.

එළාර රජු පරදා ලක්දිව එක්සේසත් කල දුටුගැමුණු රජු,තිසාවැව අසබඩ තමන්ගේ ජය කොන්තය නිදන්කර නිර්මාණය කරන ලද දාගැබ මිරිසවැටියයි. තිසාවැවත් බසවක්කුලම වැවත් යා කරන මාවත පසෙකින් පිහිටා ඇති අටමස්ථාන අතර තවත් එක් සිද්ධස්ථානයක් වන මෙහි පසෙකින් බිතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද සිර මැදිරි සංකීරණයේ කොටසක් දැකගත හැකිය. එවකට වැරදි කරුවන් එල්ලා මැරීමද මෙම ස්ථානයේ සිදුකර ඇත.සංඝයා වහන්සේට නොපිළිගන්වා කිසිත් අනුභව නොකල දුටුගැමුණු රජු අතපසුවීමකින් සංඝයා වහන්සේට නොදී මිරිස් මාළුවක් ආහාරයට ගත් හෙයින් ඒ වැරැද්ද හදාගැනීම අරමුණුකර මෙය නිර්මාණය කලබවජන වහරේ මෙන්ම අතීත පොත්පත් වලද සඳහන්ව ඇත.

අටමස්ථාන අතර අවසන් සිද්ධස්ථානය ලංකාරාමයයි.මෙය වළගම්බා නිරිඳුන්ගේ නිර්මාණයකි.මේ පිළිබඳව සඳහන් වන ඓතිහාසික තොරතුරු අවම වන අතර දැනට ඉතිරිව පවතින ගල්කණු දෙස බැලීමේදී මෙයද අනිවාර්යයයෙන්ම ථුපාරාමයේ මෙන් වටදාගයකින් ආවරණය වී තිබෙන්නට ඇති බව අනුමාන කල හැකිය.

Comments are closed.