Profile photo of iilanka

by

සිනමාවෙන් මහ මුහුදට

July 15, 2013 in Sri Lanka

ස්ටීවන් ඇලන් ස්පිල්බර්ග් උපත ලබා ඇත්තේ 1946 දෙසැම්බර් 18 වැනිදා ඇමරිකාවේ ඔහායෝ ප‍්‍රාන්තයේ සින්සිනාට්හිදීය. වත්මනෙහි ඔහුගේ වාසස්ථාන පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලීස් සහ කැලිෆෝනියාවේය. සරටොගා උසස් අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය ලද ඔහුගේ සරසවි භූමිය වූයේ කැලිෆෝනියා ප‍්‍රාන්ත සරසවියයි. අමෙරිකානු ජාතික ඔහු යුදෙව්වෙකි. ඔහුගේ මව ලීහ් ඇඞ්ලර්, අවන්හල් හිමිකාරියක සහ පියානෝ වාදන ශිල්පිනියක වූවාය. පියා වූ ආනල්ඞ් ස්පිල්බර්ග් පරිගණක සංවර්ධන අංශයේ විදුලි ඉංජිනේරුවකු විය. මව සහ පියා දික්කසාද වීම නිසා කුඩා කාලයේ ස්පිල්බර්ග් හට ජීවිතය ගෙවා දැමීමට සිදුවූයේ පියාගේ භාරකාරත්වය යටතේය. ඔහුගේ සහෝදරියන් තිදෙනා මව සමග වෙනම වාසයට ගොස් ඇත. යුදෙව් ජාතිකයකු වූ නිසා පාසල් අධ්‍යාපනය ලබන අවස්ථාවලදී විටෙක පුංචි ස්පිල්බර්ග් අනෙක් ළමුන් අතර සමච්චලයට ලක්වූ බව සඳහන් කරයි.”මට ඒ පාසල් කාලය සතුටකට කාරණයක් වුණේ නැහැ” යන්න විටෙක ඔහු ආවර්ජනය කර තිබේ.

කැලිෆෝනියාවට සේන්දුවීමත් සමග කැලිෆෝනියා දකුනු සරසවිය වෙතින් සිනමාව වේදිකාව හා ටෙලිවිෂන් කලාව ගැන එක්වර ඉගෙනීමට උත්සාහ කළද එය අසාර්ථකවී තිබේ. ඒ වනවිට ඔහු කැලිෆෝනියා දිස්ති‍්‍රක් සරසවියේ සිසුවකුද විය. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ ලෝ ප‍්‍රකට යුනිවර්සල් කලාගාරය වෙත බැඳීමත් සමගය. සංස්කරණය පිළිබඳව පුහුණුව ලබා ගත් හේ ඉන්පසු ප‍්‍රකට වූවේ යුනිවර්සල් ස්ටුඩියෝ (කලාගාරය) වෙතින් ගෞරව උපාධියක් ලද නිසාය. ඉන් පසුවද හේ උසස් අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන ගියේය.

යුනිවර්සල් ස්ටුඩියෝහි සිටින අතරවාරයේ කළ කෙටි චිත‍්‍රපටය සමග ඔහුගේ සිනමා දිවිය ආරම්භවී ඇත. රූපවාහිනි වැඩ සටහන් නිර්මාණයටද දායකවී ඇත. 1985 දී ඇම් අර්වින් සමග විවාහවූ අතර ඒ විවාහය පැවැතියේ වසර හතරක් පමණි. ඇයගෙන් දික්කසාද වූ හේ 1991 දී කෙට් කැප්ෂව් සමග විවාහ විය. ස්පිල්බර්ග් දරුවන් සය දෙනෙකුගේ පියෙකි. සැබැවින්ම ස්පිල්බර්ග් මහා සිනමාකරුවකු සේම ඔහුගේ ජීවිත කතාවද මහා සිනමා කතාවක් මෙනි. එයින් අප සඳහන් කළේ එක් පරිච්ඡේදයක් පමණි. වත්මනෙහි ඔහු සතු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන (3.2) ක් ලෙස 2012 වාර්තා මගින් ප‍්‍රකාශවී ඇත.

ස්පිල්බර්ග් යන නම ඇසූ සැනින් අපගේ මතකයට එන්නේ සිනමාව වෙතින් ලෝක ජනතාවට සමීපවූ චරිතයකි. මේ මහා සිනමාකරුවා ලෝකයේ කවර හෝ රටක සංචාරයකට යන්නේ නම් ඒ පුවත අසා බොහෝ දෙනා බලා සිටින්නේ ඔහු දැක ගැනීමටය. නමුත් මේ හේතුව නිසාවෙන්ම නිදහසේ ඔහුට ජනයා අතර ගැවසෙන්නට අවකාශය ඇහිරී තිබේ. එහෙත් ඔහු ලෝකය සැරිසැරීමට ගවේෂණයට මහත් පි‍්‍රයතාවයක් දක්වන්නෙකි.

ලෝ ප‍්‍රකට මේ සිනමාකරුවා තමාගේ පුද්ගලික පරිහරණය සඳහා සුපිරි බෝට්ටුවක් මිලදීගත් බව 2010 ජනවාරි මාසයේදී පුවත්පතක් වාර්තා කළේය. ඇල්බ්ලැසර්ඩෑම්හි ඕෂන්කෝ නෞකාංගණයේදී ඔහු සඳහාම නිම කරන ලද මෙම සුපිරි නාවුක යාත‍්‍රාව වෙනුවෙන් යුරෝ මිලියන 150 ක් පමණ වැය කිරීමට ඔහුට සිදුවිය. මෙය නිමකළ අයුරු සහ එහි ඇති සුපිරි බව ගැන සමාගම අදහස් විස්තර හෙළිදරව් නොකිරිමට වගබලා ගත්තද මෙහි පෞද්ගලික හෙලිකොප්ටරයක් නවතා තැබීමට ස්ථානයක් මෙන්ම හෙලිකොප්ටර් යානයක්ද තිබේ.

මේ යාත‍්‍රාව තැනීම සඳහා සුපිරි අමු ද්‍රව්‍ය භාණ්ඩ සහ තාක්ෂණය යොදාගත් බව සඳහන්වේ. ඉහත මාලයේ පිහිනුම් තටාක දෙකක් නිමවා ඇත. මෙම එක් පිහිනුම් තටාකයක් සඳහා අවශ්‍ය විටෙක ජලය බහාලන අතර එය වියලී නැතිනම් හිස් බවට පත්කොට හෙලිකොප්ටරය නවතා තැබීමටද උපයෝගී කරගනී. ඩ‍්‍රයි සිනමා සහ වෙට් සිනමා නමින් චිත‍්‍රපට නැරැඹීමේ ස්ථාන දෙකක් තිබේ. වෙට් හෙවත් ජලය මත ඇති සිනමා තිරය යොදාගෙන ඇත්තේ ඔහු පිහිනුම් අවස්ථාවල යෙදෙන විට චිත‍්‍රපට නැරැඹීම සඳහාය. ඇතුළත අලංකරණ නිමැවුම් සඳහා තේක්ක සහ රෝස්වුඞ් යොදාගෙන තිබේ.

ආහාරපාන ගැනීම සඳහා ඇති මෙම ස්ථානය පුංචි සාදයකට මෙන්ම රාති‍්‍ර භෝජන සම්භාෂණ සඳහා කදිම තැනෙකි. මෙම රාති‍්‍ර භෝජන ශාලාව වර්ග මීටර 250කින් සමන්විතය. මෙහි අමුත්තන් දොළොස් දෙනෙකුට පමණ ඉඩකඩ ඇත.

මීට අමතරව පුද්ගලික ඩෙක් හෙවත් තට්ටුව වෙන්ව ඇත්තේ ස්පිල්බර්ග් හට විවිධ දේ ගැන අධ්‍යයනය කිරීමට ඉගෙනීමට මෙන්ම කියවීම ආදි දේ සඳහාය. 26 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙහි සේවයට එක්ව සිටිති

අදවන විට ස්පිල්බර්ග් ගැන ලෝකයේ බොහෝ දෙනා කතා වන්නේ ඔහු, තමන් සතු අධි සුපිරි නාවුක යාත‍්‍රාවේ නැගී ලෝකය වටේ සංචාරයක නිරත වන්නේ යැයි යන ප‍්‍රවෘත්ති ආරංචිය නිසාය. එලෙසින් ලෝකය වටේ යාමට සූදානම් වන ස්පිල්බර්ග් වරෙක ලංකාවටද පැමිණ තිබේ. මෙරට ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන චන්දන් රත්නම්ගේ ඇරයුමකට අනුව ඔහු එලෙස පැමිණියේ මීට වසර කීපයකට පෙරදීය. මෙවර තම සුපිරි යාත‍්‍රාවේ නැගී ලෝ පුරා යාමට නියමිත ඔහුගේ අලූත් සංචාරයේ යෙදෙන අතර වාරයේදී නැවත ලංකාවට පැමිණෙන බවටද ආරංචියක් තිබේ.

. ”සෙවන්සීස්” නමැති මේ සුපිරි යාත‍්‍රාව ඇත්තේ මේ ලෝ ප‍්‍රකට සිනමාකරුවාගේ පරිහරණය සඳහා පමණක්ම නොවේ. එක්තරා කාල සීමාවක් සඳහා ඕනෑ නම් මෙය වෙනත් සංචාරකයින්ටද වෙන් කරවා ගත හැකිය. සතියක පරිහරණය හෙවත් වෙන්කරවා ගැනීම් සඳහා යුරෝ මිලියනයක මුදලක් ගෙවිය යුතුය. මෙහි සුපිරි බව සහ මෙම හිමිකරුවාගේ සුපිරි බව නිසා මෙලෙස මිලක් නියම වන්නට ඇත. ලොව පුරා සිටින සුපිරි මිනිසුන්ගේ සමීපයට යාමට උත්සාහ ගන්නා සුපිරි ධනවතුන්ට මෙය නම් කදිම අවස්ථාවකැයි එකත් අතකට සඳහන් කළ හැකිය.

__________________

පුවත්පත් තොරතුරු ඇසුරෙන්

Comments are closed.