Avatar of iilanka

by

අස්වැන්න නෙළා අවසානයේ පවත්වන මුට්ටි මංගල්‍යය

November 15, 2011 in Ancient Sri Lanka, Sinhala, Sinhalen

අප රටේ බොහෝ දෙනා දන්නා පරිදි පිටිසර බද පළාත් හි පාලනය, භාරකාරත්වය දරන්නා වූ දෙවි කෙනෙකි අයියනායක දෙවියන්. ගැමියන්ගේ
දුකේදීත් සැපේදීත් ඔවුන්ට යමක් කීමට ඇත්නම් එය අයියනායක දෙවියන්ට පැවසීම එදා අතීතයේ පටන්ම පැවත එන සිංහල සිරිතකි. ගැමියන්ගේ
ජීවනෝපාය වූයේ ගොවිතැනයි. ගොවිතැන කරනු රිසින් එදා හෙළ රජ දරුවන් අතින් ගොඩනැංවුන වාරි ව්‍යාපෘති ගොවිතැනේ අත්‍යාවශ්‍ය අංගයක් වූ ජලය ලබා දීමට ගැමියාට උපකාරී විය. නිසි කලට වරුසාව ලබාදීම මඟින් ගොවිතැන් සරුකරගත් අපේ ගොවියා තමාට ගොවිතැන සරි කරගන්නට උදව් උපකාර කළ කාටකාටත් කළගුණ සලකන්නට අමතක කරේ නැත. ඒ අනුව කළගුණ සැලකීම සඳහා පවත්වනු ලබන ගැමි පූජාවකි මුට්ටි මංගල්‍යය.

විෂ්ණු දෙවියන්ගේ හිසින් පහළවූයේයැයි සැලකෙන නිසාවෙන් කයි-යනාර් යන නමින් හැඳින්වූ ද  පසුව අයියනාර් වූ අයියනායක දෙවියන් දමිළ දෙවිකෙනෙකු යැයි මතයක් ගැමියන් අතර පවතී. නම් පනහක් ඇති අයියනායක දෙවියන් ඒ ඒ අවස්ථාවන්හි සිදුකරනු ලැබූ කාර්යය අනුව ඒ ඒ නම් වලින් හඳුන්වා දී ඇත. ගමේ වැව ද අයියනායක දෙවියන් භාරයේ පවතින්නකි. ඒ අනුව නිසි කලට වැසි වැස වැව පිරී ගිය විට ගම් වැසියන්, ගම රාළ පෙරටුව වැව අසල පිහිටි ගසක් අසල වෙඩි දල්වා දෙවියන්ට ආචාර පවත්වති. ඉන් අනතුරුව වැව පිරී ඇති බැවින් හෙටින් අරඹා ගොවිතැන් කටයුතු කිරීමට අවසරය පතති. ඉනිත්බිති කහ පැහැති රෙදි කඩක එතූ තඹ කාසි ගසේ අත්තක ගැට ගසා ගවයන්ගේ පටන් ‍ගොවැතැනට සහභාගී වන්නන් සියල්ලන්ම දෙවියන්ට භාර කර පඩුරු බැඳීමෙන් මුට්ටි මංගල්‍යය ඇරඹේ.

ගොවිතැන් කාලය අහවරව අස්වැනු නෙලාගත් පසුව මුට්ටි මංගල්‍යයේ දෙවැනි අදියර ඇරඹේ. නැවතත් වතාවක් නියම කරගත් දිනයේ ගම් වැසියෝ ගමරාළ ද පෙරටුකොට පෙර කී ගස අසළට රැස්වෙති. දෙවියන්ට කන්නලව් කිරීමේ හැකියාව ඇති කපුවෙකු හෙවත් අනුමැති රාළ කෙනෙකු මෙදිනට ගැමියන් විසින් ගෙන්වා ගැනේ. අනුමැති රාළ කෙනෙකු ගමේ නැත්නම් ඔහු අසල්වැසි ගමකින් ගෙන්වා ගනී. ඒ සමඟින්හ බෙර කරුවන් හටද පණිවුඩ ලබා දේ. ගොවිතැනට සහභාගී වූ සියල්ලෝම ගමරාළගේ නියමයෙන් පැමිණෙති. සිංහල රස කැවිලි, සහල්, තෙල්, බුලත් පුවක් ආදියද එක්රැස් කෙරේ. උත්සවය දින සවස මේ සඳහා සහභාගී වන සියල්ලන්ටම බත සැපයේ. උදෑසන පූජාවත් සවස ආහාරයෙනුත් පසුව  අනුමැති රාළ පෙරටු කරගත් ගම් වැස්සෝ අළුත් මුට්ටි දෙකක් රැගෙන ගස කරා පැමිණෙති. එය පෙරහැරක ස්වභාවය ගනී. ගස අසල තැනූ වේදිකාව මත දෙවියන්ට බුලත් පුවක් ද පිළිවෙලින් සුවඳ සහ රස කැවිලිද තබමින් යාතිකා කරයි. යාතිකාවෙන් අනතුරුව බෙර වයමින් නටන අතර එය පසුදින අළුයම් කාලය දක්වා පැවැත්වේ. අළුයමේ ගස මුදුනට රැගෙන යන මුට්ටි ගස මුදුනේ රඳවති. ගැමියන්ගේ මෙම පුජාවෙන් පසු දෙවියන් අනුමැති රාළ වෙත තමන් ගම යම්කිසි කාලයක් සඳහා භාරගත් බවට පණිවුඩයක් දෙනු ලබයි. එම කාල සීමාව දෙවියන්ගේ තීරණයක් වන අතර අවුරුද්දේ සිට තුන් අවුරුද්දක් දක්වා විය හැකිය. ඉනික්බිති ගමට යන ඔවුන් ගමේදී සප්පායම් වන දිවා ආහාරයෙන් මුට්ටි මංගල්‍යය අවසන් කරති.

Comments are closed.