වර්ෂ එක්දහස් අටසිය ගනන්වල මහනුවර පරිපාලනය
November 23, 2011 in Ancient Sri Lanka, Sinhala, Sinhala Books
එදා මහනුවර කේන්දීයව සිදුකෙරුණු පාලනයේ රජුට සහය දැක්වීම පිණිස රජු විසින් පත්කර සිටි රදළ පධානීන් මෙසේය. පළමු අදිකාරම සහ දෙවැනි අදිකාරම රජුට සමීපයෙන්ම සිටි රජුට වඩාත්ම පක්ෂපාතී නායකයන් දෙපළ වූහ. මෙම අදිකාරම් දෙපල යටතේ හතර කෝරළේ ,හත් කෝරළේ ,මාතලේ ,තුන් කෝරළේ , සබරගමුව ආදී ලෙස දිසා 12 භාර දිසාවේ වරු වූහ. රාජසිංහ රජු සමයේ ඌව දිසාවෙන් වෙන් කරනු ලැබූ සබරගමුවද ඇතුලත්ව එම දිසාවන් මෙසේය. හතර කෝරළේ, හත් කෝරළේ, ඌව, සබරගමුව, මාතලේ, තුන් කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව. මෙම පධාන දිසා 12ට අමතර කුඩා පරිපාලන පදේශ රට නමින් හැඳින්වූ අතර ඒවායේ පාලනය සිදුවූයේ දිසාවේ කෙනෙකු අතින් නොව රටේ මහත්තයා නම් නිළධාරියා විසිනි.
දිසාවේ වරයෙකුට සිය පරිපාලන බල පදේශය තුල අධිකරණ සහ සිවිල් බලතල පැවරී තිබුණි. සේවා කාලය වසරක් වන දිසාවේ කෙනෙකු රජුගේ සිත්ගත් පරිදි සේවා දිගුවන්ට උරුමකම් කියයි. නිසි කලට බදු එක්කර දීම සහ අගනුවර පොදු වැඩකටයුතු සඳහා මිනිසුන් සැපයීම දිසාවේට අයත් පධානම රාජකාරියයි. පත්වීමත් සමඟ රජුගෙන් ලැබෙන ඇතෙකු හෝ අශ්වයෙකු දිසාවේ වරයෙකුට හිමිය. එයට අමතරව සිය දිසාවේ ගමන් යෑමට පල්ලැක්කිය යොදාගත හැකිවිය. නමුත් රජු බැහැදැකීමට ඒවායෙන් යාමට ඔහුට අවසර නොවීය.
රටේ මහත්තරුන්ගේ පාලනය යටතේ වූ කුඩා බල පදේශ මෙසේය. උඩුනුවර, යටි නුවර , තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර,හේවාහැට, මී මුරේ, කොත්මලේ .මේ හැර උඩ බුලත්ගම සහ පාත් බුලත්ගම ලෙස කුඩා පාලන පදේශ දෙකක් ද විය. රටේ මහත්තයා රාජ සභාවේදී හඳුන්වා ඇත්තේ රටේ රාළ වශයෙනි. පභූ පවුල් වලට අයත් වූ එහෙත් දිසාවේ වරුන්ට වඩා පහත් ශේණියේ රදළයන් රටේ මහත්වරු වූහ. අධිකරණ බලතල සහ සිවිල් බලතර තිබුනද, දිසාවේ කෙනෙකුගේ තීන්දුවක් ඉක්මවීමට ඔවුනට නොහැකි විය. දිසාවේගේ ආරක්ෂක කටයුතු සිදුකල අතපත්තු වරුන්ගේ නායකත්වය දැරූයේ අතපත්තු මොහොට්ටාල නම් නිලධාරියා විසින් වූ අතර ආයුධ භාර සහ කත් ඉසිලූ පදු ජනයාගේ පරිපාලනය භාර නිළධාරියා වූයේ කොඩිතුවක්කු මොහොට්ටාලය.
පරිපාලනයට සෘජුව දායක නොවූ නමුත් පාලන තන්තය මනාව ගෙනයාමටත් විශේෂිත රාජකාරි සඳහාත් පත්කර සිටි තවත් රදළ පිරිසක් ද එවකට මහනුවර විසූහ. ඔවුන් වූ කලී මහ දියවඩන නිලමේ, පල්ලෙ වාහල දියවඩන නිලමේ, මහ ගබඩා නිලමේ, පල්ලෙ වාහල ගබඩා නිලමේ, වන්නකු නිලමේ දෙපල, බත්වඩන නිලමේ, ගජනායක නිලමේ, මහ ලේකම්, අතපත්තු ලේකම්, වෙඩිකාර ලේකම්, නානායක්කාර ලේකම්, පඩිකාර ලේකම්, මඩුවේ ගන්කාර ලේකම්, කුරුවේ ලේකම් වරු, රන් ආවුද මණ්ඩපයේ ලේකම්, සැතපෙන ගේ ලේකම්, සුදලියේ මුහන්දිරම්, මරු වල්ලියේ මුහන්දිරම්, දළදා මාලිගාවේ දියවඩන නිලමේ සහ සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේ වරුන්ය.
කෝරාල යනුවෙන් සිටි නිළධාරියා පසුකලෙක අසන්නට දකින්නට ලැබුනු කෝරළේ මහත්තයා නොව මොහොට්ටාල වරුන් යටතේ සිටි යටත් නිලධරයින් පිරිසකි. තවත් අතකින් ඔහු දිසාවේගේ නියෝජිතවරයෙක් විය. තමන්ට හිමි පත්තුවේ එසේත් නැතිනම් ගමේ බදු මුදල් අයකිරීම කෝරාලගේ පධානතම වගකීම විය. නමුත් කෝරලේ ගම් නමින් හැදින්වූ පදේශවල ජීවත් වූ නිදහස් මිනිසුන් පිරිසක් ගැනද සඳහන් කළ යුතුමය. යුදමය කටයුතු වලට දායකත්වය දැක්වූ හේවාගම් හෙවත් හේවා වසම් වූ මේවා ඉහත පධානින්ගේ පාලනයෙන් මිදුනු නිදහස් පදේශ විය. දිසාවේ යටතේ පාලනය වූ විදානගම් හි පාලනය විදානේ වරුන් විසින් කරගෙන ගිය අතර ඔවුන්ට සිය බල පදේශයේ වැසියන් ලවා ඕනෑම පුද්ගලික වැඩක් කරගැනීමේ හැකියාව තිබුනි. අයබදු වලට අමතරව ගමේ හිමිකරු වශයෙන් මුත්තෙට්ටු නම් ධාන්‍ය බද්දක් ඔවුනට ලැබින. ගමේ ආරක්ෂාව ඔවුන් භාරයේ වූ අතර තානායම් වූයේනම් ඒවා රැක්කේද විදානේ වරුන් විසින්ය. මෙම නිලධාරීන්ට අමතරව ආරච්චි, ලියන රාල, මනන්නා, කංකානම ආදී සුළු නිලධාරීන් රාජකාරියේ නිරත වී ඇත.
——————————
රැල්ෆ් පීරිස් විසින් රචිත නුවර යුගයේ සිංහල සමාජය පිළිබඳ කෘතිය ඇසුරෙන්
