හෙළදිව පාලනය දේවයන්ගෙන් භික්ෂූන්ට ( දෙවන කොටස)
November 15, 2011 in Ancient Sri Lanka, Sinhala, Sinhala Books, Sinhalen
සිතුල් පව්වේ කොරවක් ගල ඇති අංක IC 621 දරණ සෙල් ලිපියේ බුදු රජානන් වහන්සේට තිස්ස රජු සහ බිසව විසින් පූජා කළ ලෙනක් ඇත. මෙරටදී හමුවන,සෙල්ලිපි වලින් බුදුන් වහන්සේට සිදුකළ පූජාවක් ගැන දැක්වෙන එකම සෙලි ලිපිය මෙයයි. මෙම තිස්ස රජු කැළණි තිස්ස හෝ කාවන් තිස්ස විය හැකිය. මෙය මාගමට අයිති බැවින් බොහෝ විට මේ කාවන් තිස්ස රජු විය හැකිය. බුදුන් පැමිණ දෙසු දම් අසා සෝවාන් වූ සුමණ දේවයා දේව පාලනයෙන් ඉවත් වන්නට ඇත. මහාවංශයේ පිළිගත නොහැකි වර්ෂ පිළිබඳ නොසලකා සෙල්ලිපි සාක්ෂි පමණක් ඇසුරෙන් එළැඹිය හැකි තීරණයනම් සුමණගේ සෝවාන් වීමෙන් පරම්පරා දෙකකට නොවැඩි කාලයකදී ගැමුණු කුමරු රජ වී ඇති බවයි. මෙවන් මහාවංශයේ ගැටළු සහගත තැන් පිළිබඳ ඉදිරියේදී ලිපි මඟින් සාකච්ඡා කරනු ලැබේ.
දේව වංශයේ බිඳ වැටීමත් සමඟ රාජ වංශය සිංහල සමාජයේ ඉස්මතු වන්නට පටන් ගත්තේය. නමුත් සැබැවින්ම පාලක පන්තියේ දේවයන්ගේ ස්ථානයේ සිටියේ බෞද්ධ භික්ෂුවයි. දේව පාලන සමයේ දේව කාර්යයන් වූයේ අධ්‍යාපනය, විනිශ්චය සහ යුද්ධය හෙවත් රට රැකීමයි. මෙයින් යුද්ධය භික්ෂුන්ට අකැප බැවින් එය රජුන්ට භාර විය. සෙසු දේව කාරි දෙක සඳහාම භික්ෂුව සෘජුව දායක විය. දේව කාරීන් තුනෙන් දෙකක් භාරව සිටි භික්ෂුන්ගේ හොඳහිත දිනාගැනීම තුළ යුද්ධය භාර රජුට පහසුවෙන් රට කරවන්නට හැකි විය. ඉන්දියාවේ බමුණු ආශිර්වාදය රජෙකුට පාලනය ගෙනයාමට වැදගත් වීම මීට සමාන සිදුවීමකි. වැසියන්ගේ සංස්කෘතික මනස හසුරවනු ලැබූයේ පන්සල විසිනි. එබැවින්ම රටේ අගනුවරදී මුහු වූ ආයුර්වේදය, මහායාන දර්ශණය ආදිය ඈත වැව් ගම් කරා ගියේ නැත.
දේව පාලන යුගයේ දේවයා සෙස්සන්ට වඩා උගත්, සිල්වත් නමුත් සටන්කාමී පුද්ගලයෙකු විය. පසු කාලීනව දේවයාගේ තැනට ආ භික්ෂුවද සිල්වත් සහ උගත් විය. සම්පූරණ වශයෙන් මෙසේ දේව වංශයෙන් භික්ෂු පන්තියට පාලනය මාරු වීමට සිවයස් දෙකක්වත් ගතවන්නට ඇතියැයි සිතිය හැක. මුල් යුගයේ භික්ෂුව ගල් ලෙන් ඇසුරේ දිවි ගෙවූ සංචාරක ජීවිතයකට හිමිකම් කියූවෙකි. පසුව සමාජගතවී පණ්න ශාලා හෙවත් පන්සල් ඇසුරට භික්ෂුව පත්විය. ගම් වාසී භික්ෂු පරපුර එසේ වර්ධනය වෙද්දී බුදුන් දෙසූ මඟ යමින් විදසුන් වඩා රහත්වීම අරමුණු කරගත් ආරණ්‍ය වාසී භික්ෂු පරපුර කෙමෙන් හීන වන්නට විය. බැඳිම් ඉවත හැරීම, ආශාවන් අත හැරීම වැනි භික්ෂු චර්යා ඉවත්කොට නව භික්ෂුව අල්පේච්ඡතාව, පරහිතකාමී බව වැනි සාධු චර්යාවන්ට පමණක් යොමු වූයේ දේවයා සතුව පැවති ගති ලක්ෂණ ආරූඪ කරගනිමිනි. දෙවයන්ගේ අණ ඉක්මවීමට මැලි වූ හෙළයෝ නව භික්ෂුවගේ බණ ඉක්මවීමටද බිය වූහ. දෙවයන් නොමැති සමාජයේ සිටි ආදේශකයන් බෞද්ධ භික්ෂුන් වීම එයට හේතු විය.
වසර 1847 දක්වාම භික්ෂුන් මෙම දේව පාලන කටයුත්ත කරගෙන ගොසු ඇත. එවකට අග විනිසුරු වරයෙකු වූ සර් ඇන්තනි ඔලිපන්ට් විසින් යටත් විජිත භාර මහ ලේකම් වරයාට ලිපියක් යවමින් දන්වා ඇත්තේ පාසැල් අධ්‍යාපනය සහ අධිකරණ කියාදාමය නිසි පරිදි කියාත්මක කර නොහැක්කේ කහ ලෝගු හැඳි හිස මුඩු ස්වදේශීය තාපස පිරිසක් විසින් සිය මධ්‍යස්ථාන තුලදී ලබාදෙන මිත්‍යා අධ්‍යාපනයට සහ ආරවුල් සඳහා මෙම ස්ථාන වලදී දෙන තීන්දු සඳහා ස්වදේශියන් මහත් කැමැත්තක් දක්වන බවයි. එය මෙසේ භික්ෂුව රටේ පාලනයට සෘජුව දායක වෙමින් දේව කාරීන් ඉටුකළ බවට ඇති හොඳම ලිඛිත සාක්ෂියයි. දේවයන් නැති අඩුව පුරවාලමින් එතැනට පැමිණි භික්ෂුවට රට වැසියා පුරුදු වන්නට වැඩිකල් ගියේ නැත. දේවයන් තුල වූ පැවැත්මන් පමණක් නොව බාහිර පෙනුමෙන්ද භික්ෂුව වඩාත් ආකර්ශණිය විය. සැබෑ බෞද්ධ භික්ෂුව අතින් ඉන්දීය සමාජයට සේවයක් ඉටු නොවින. එබැවින් බුදු සසුන ඉන්දියාවෙන් විනාශ විය. නමුත් රටේ පාලනයට සෘජු දායකත්වයක් දැක්වෘ මෙරට භික්ෂුව රට වැසියා විසින් රැක්ක නිසාවෙන්ම අදටද බුදු සසුන මෙරට පවතී.
බෞද්ධ සාහිත්‍යය තුළ සුමණ දේවයා සමන් දෙවියන් විය.මායාසුර දේවයා විශ්ව කර්ම දෙව්පුත් කර ඇත. මාතලේ දේවයා මාතලී දෙවියාය. දේවයානී කුමරිය පත්තිනි දේවිය කර ඇත. දෙවයන් ගමන් ගියේ විමාන හෙවත් ගුවන් යානා වලය. ගමන ගොඩින්ද බිමන ගුවනින්ද විය. සංස්කෘත බසින් විමාන වූ මෙය බෙංගාලි බසින් බිමාන නම් වේ. බංගලි දේශයේ බිමාන එයාර් ලයින්ස් එයට හොඳම උදාහරණයයි. රටට යහපතක් කළ අය මරණින් මතු දේවයන් කරවා පුද පූජා තැබීමට රට වැසියෝ පුරුදු වූහ. මහසෙන් දෙයියෝ, ගලේ බණ්ඩාර දෙයියෝ, ආදී දේවත්වයට පත් වූවන් අතර අවසානයා වන්නේ 1864 දී මියගිය කැළණි ගඟ රංවල තොටුපලේ අප්පු සිංඤෝ තොටියාය. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පුවක් පිටිය දේවාලයට පඩුරු දමා යන්නේ මෙම රංවල දෙවියාටය.
එරංග හේමජිත්.
ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ලංකා ඉතිහාසයේ හෙළ යුගය කෘතිය ඇසුරෙන්.
