You are browsing the archive for Ancient Sri Lanka.

Profile photo of iilanka

by iilanka

රාවණ ර‍‍ජෙකු පමණයි ?

February 19, 2013 in Ancient Sri Lanka, Sinhala, Sinhalen

දසිස් රාවණා හෙවත් හෙළයේ මහා නරනිඳු පිළිබඳව අධ්‍යනය කිරීමට ඉතිහාසාත්මක දත්ත හා සාධක අවම වුවත් ජනශ‍්‍රතිය අධ්‍යනය කිරීම මඟින් බොහෝ තොරතුරු අණාවරනය කරගත හැකිවේ. හෙළ වෙදකම, යන්ත‍්‍රමන්ත‍්‍ර, හෙළ සටන් සහ ජ්‍යොතිෂ්‍යය යන සියළු විද්‍යා පිළිබඳව කෙළ පැමිණි මේ මහා නරනිඳුගේ තොරතුරු අදවන විට ඇතැමුන් විසින් විකෘති කරමින් පැවතීමනම් ඛේදවාචකයකි.

පුලස්ති සාමිවරයා අයත්වන්නේ බ‍්‍රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරටයි. මෙය එවකට වූ එක් ප‍්‍රබල ගුරුකුලයක් ලෙස හඳුනාගත හැක. මේ දරුවන් සත්දෙනා කාර්යයන් ගණනාවකට විශේෂඥතාව දක්වන නිසා එක් ගුරුවරයකුගේ ශිෂ්‍යයන් සත්දෙනා පුතුන් ලෙස සංකේතාත්මකව දක්වා තිබෙනවා ද විය හැකිය. ලෝකය විනාශ වී ගියවිට නැවත සත්ව වර්ග බිහිකරන මත්ස්‍යයා රැකගන්නේද මෙම මානස දරුවන් සත්දෙනා බව පුරාවෘතයන්හි කියැවෙනවා. එය නැවතත් සංකේතවත් කර දක්වන්නේ මිනිසාට අවශ්‍ය සියලූ විද්‍යා හා ශිල්ප කලා මෙම පරපුරින් බිහිකර ඇති බවයි. චරිත පුර්ණකාව නම් පුස්ථකයේ සඳහන් පරිදි රාවණා රජුගේ පුත් උපේන්ද්‍ර මිණිගේ බල ප‍්‍රදේශය ගැන තොරතුරු කිසිවක් දැන ගැනීමට නැහැ. නමුත් උපේන්ද්‍රමිණි ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාශ හා කේවේයාස්ත ගැන තොරතුරු තිබෙනවා. ඔවුන් දෙදෙනාගේම පාලන මධ්‍යස්ථාන ආශි‍්‍රතව ඔසු උයන් දෙකක් තිබුණු බවත් මේ ග‍්‍රන්ථයේ සඳහන් වී ඇත. රවිශෛලාශගේ බල ප‍්‍රදේශය වු රකුන්ගිර නොහොත් රිටිගල ආශි‍්‍රත ප‍්‍රදේශ‍යේ අදටත් ඖෂධ කන්ද නැමති ස්ථානයක් තිබෙනවා.
දෙවැනි පුත‍්‍රයා වු කේවේසස්ථ යාපන අර්ධද්වීපයේ කන්කසන්තුරේ ආශි‍්‍රත මධ්‍යස්ථානයක සිට සිය පාලනය කර ඇති අතර කේවෙසස්ථ මන්ඨක පදියට නමින් වර්ගපුර්ණිකාව එය හඳුන්වා ඇත. උතුරු කොදව්වේ රාවණා රජු විසින් පිහිටවන ලද පදිසර්ගය වන්ඨාල නම් ඔසු වනය ආශ‍්‍රය කරගෙන මෙම රාජධානිය පැවතීම නිසා අගනුවරක් මුල්බැස ගැනීම ඔසු උයනක් මුල්කරගෙන සිදුවීමට තරම් වෛද්‍ය කර්මයන් රාවණා පරපුරට වැදගත් වී ඇති බව නිගමනය කළ හැක. ඔසු උයනක් ආශ‍්‍රය කරගෙන පාලන මධ්‍යස්ථාන හා සාමිවරයකු පාලකයා වශයෙන් වාසය කිරීම 11 වැනි සියවසෙන් පසු දළදා වහන්සේ ආශ‍්‍රය කරගෙන ලංකාවේ රජ මාළිගය හා අගනුවර ස්ථාපිතවීමට සමාන සිදුවීමකි.

හෙළ වෛද්‍ය කර්ම හැමවිටම ජ්‍යෝතිෂය හා බැඳී පැවතුණි. හිරු රැස් වායුගෝලය හරහා ඒමෙන් පෘථිවිය මතුපිටට ඇතිවන බලපෑම, හිරුගේ රැස් අනෙකුත් ග‍්‍රහලෝකවල පතිත වී පෘථිවියට පරාවාර්තනය වීම නිසා ඇතිවන බලපෑම්, හා ඒවා ශාඛවලට හා සතුන්ට බලපාන ආකාරය හා එම ශාඛවල ධාන්‍ය, පලතුරු හා එළවළුද, සතුන්ගේ ක්ෂිරයද මිනිසා ආහාරයට ගත්විට ශරීරයේ ඇතිවන ප‍්‍රතිකි‍්‍රයා දක්වාම විනිවිද දකින්න මේ විද්‍යාවන්ට හැකියාව තිබුණා. මේ සෘජු හිරු කිරණ වගේම පරාවර්තන ග‍්‍රහ කිරණත් මිනිසාට ඇති කරන ශුභ හා අශුභ ගැන සොයා බලා අශුභ තත්ව මගහරවා ගැනීමට ග‍්‍රහ පුජා, බලි පුජා, නැටුම් ගැයුම් (තොවිල්), භේරී වාදන (යක්බෙරය) තුළින් සිදුකෙරුණා. රාවණා රජතුමා නාඩි ශාස්ත‍්‍රයෙන් රෝග මුල්‍ය සෙවීම, ශාඛ වෙදකමින් රෝග සුව කිරීම, කල් තබාගන්නා අර්ක සම්පාදනය, පත්ථ්‍යාපත්ත්‍ය ආහාර මගින් නිරෝගී බල ලබා ගැනීම, වෛද්‍ය ආචාර්ය ධර්ම ආදී අංශයන් හි විශාරදයෙක් බව එතුමා විසින් සම්පාදනය කරන ලද කුමාර තන්ත‍්‍ර, උඞ්සිය තන්ත‍්‍ර, නාඩු ප‍්‍රකාශ, අර්ක ප‍්‍රකාශ, මර්ම විඥානා, විධි වෛද්‍යක ආදී ග‍්‍රන්ථවලින් පැහැදිලියි. නමුත් මේ සියල්ලටම වඩා සුවිශේෂි වන්නේ රස ශාස්ත‍්‍රය නොහොත් රස වෙදකම මගින් කිරීමට පුළුවන් එවායේ න්‍යායන් පමණක් අද අප අතර ශේෂ වී තිබෙනවා.

ආයුර්වේද ඉතිහාසයේ උගන්වන විදිහට රාවණා රජුගේ කාලය වනතුරු රසදිය ප‍්‍රයෝජනයට ගැනුනේ රත්රන් නිපදවීමට පමණයි. කි‍්‍රස්තු පුර්ව 8 වැනි සියවසේ පමණ විසු නාගර්ජුන ආචාර්යන් විසින් හඳුන්වන පරිදි රන් සෑදීම සහ ලෝහවල තත්ත්වය උසස් කිරීමට රසදිය යොදාගැනීම ”ලෝහ වේදය” නම් වෙනවා. මේ ගැන ලියැවුණු සංස්කෘති ග‍්‍රන්ථ රැසක් තිබෙනවා. නමුත් පළමුවැනි වරට හා අංග සම්පුර්ණ වශයෙන් රසදිය මිනිස් ශරීරයට මුසුකර ශරීරය බල ගන්වන හා වයසට යාම වළක්වාලන ”දේහවේදය” කි‍්‍රයාත්මක කර තිබෙන්නේද රාවණා වෛද්‍යතුමා විසිනුයි.කුසට ගත් ආහාරය පළමුවෙන්ම ”රස” බවට පත්වන්නේයැයි ආයුර්වේදය උගන්වනවා. ඉන්පසු රක්ත (ලේ), මාංශ, මේද, ඇට, ඇටමිදුළු පෝෂණය කරමින් අවසානයේ ”ශුක‍්‍ර” නිපදවයි. ”රසදිය” නොහොත් ලෝහ ශරීරයට අවශෝෂණය කරන්නේ එම රස අවස්ථාවේදීයි. රාවණා රජු තමන් දන්නා විද්‍යා ගැන පමණට වඩා ආත්ම විශ්වාසයෙන් යුක්ත වූ බව වාල්මිකී රාමායණයේදී පෙන්නුම් කරනවා. එය උඩඟු අහංකාරකම දක්වා ගමන් කළ බවත් රාමායනය කියවන විට වැටහෙනවා. ඒ වගේම රාවණා රජුගේ නැගණිය වූ ශුපර්ණාකාගේ නාසය සිඳින ලද ලක්ෂ්මණ නිසාත්, 12000ක් රකුස් ජනතාව ඝාතනය කිරීම නිසාත්, රාම කුමරු තමන් ළඟට ගෙන්වා ගැනීමට උපායක් ලෙස රාවණා රජු සීතාව පැහැරගෙන ආ බවත් රාමායනය කියවන විට හැඟී යන තවත් කරුණක්. සීතාට කිසිදා අතවරයක් නොකරන ලද බව ඒත්තුගැන්වීම අවශ්‍ය වන විදිහට රාමායනය රචනා වී ඇති බව පැහැදිලියි. සීතා පැහැරගෙන ආවේ රාමකුමරු ලංකාපුරයට ගෙන්වා දඬුවම් ලබාදීමට බව රාමායනය කියවන විට පැහැදිලි වනවා.

ආයුර්වේද ඉතිහාසයේ දැක්වෙන පරිදි විවිධ විෂයන් 10ක් පිළිබඳ විශේෂඥ දැනුමක් (දශවිධ ඥාන) රාවනා රජුට තිබුණා. එනිසාම ඔහු දසීස් රාවණා යැයි සම්මත වුණා. මෙම වචනය (දසීස්) වරදවා ගෙන ඉන්දියානු කෝවිල්වල හිස් දහසක් හා රකුසු මුහුණු ඇති අත් විස්සක් සහිත සත්වයකු ලෙස රාවණා රජුගේ රූපය නිර්මාණය කර තිබෙනවා. අපේ රටෙත් පුවත්පත්, සඟරාවල හා රූපවාහිනියේ රාවණා රජුට හැඳින්වීම සමඟ ප‍්‍රදර්ශනය කරන්නේ එම බහුභූත රූපයි. එබැවින් හිස් 10ක් හා අත් 20ක් ඇති මනුෂ්‍යයකු ලොව පහළවිය නොහැකි බවට ඇතැම් මහාචාර්යවරු තර්ක ඉදිරිපත් කරමින් රාවණා යනු මිත්‍යාවක් බව ප‍්‍රකාශ කිරීම පුදුමයක් නොවේ. ඒ ඔවුන් රාවණා රජු හැඳිනගත් ආකාරයයි. පාහියන් නැමති සංචාරක චීන භික්ෂුව ලංකාවේ සිට චීනයට ගෙනගිය ”විදුම් පිළිස්සුම්” ප‍්‍රතිකාර ක‍්‍රම ඇතැම් විට රාවණා යුගයේ සිට ආ ප‍්‍රතිකාර විධීන් වන්නට පුළුවන්. දැන් එය ආපසු ”ඇකියුපංචර්” නමින් චීන සළුපිළි වලින් සරසා නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කිරීමටත් යුද්ධයේදී සතුරන් නොමරා හා තුවාල නොකර මෙල්ල කර ගැනීමටත් යන උභය කාර්යයන් සඳහාම නිල ශාස්ත‍්‍රය උපකාරී වනවා. නිර්වින්දන තොරතුරු නිසා ශල්‍යකර්මයන්ද සිදුකෙරුණු බව අනුමාන කරන්න පුළුවන්. මොකද දේශීය වෙදකමට ශල්‍ය වෛද්‍ය කර්මත් ඇතුළත්.

ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යොතිෂ විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බව ලග්ගල ගැමියන්ගෙන් අසා දැනගත් බව පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමා පවසා තිබෙනවා. බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩමකළ සමකාලීන අවධියේ (කි‍්‍ර.පූ. 6 සියවස) මධ්‍යම කඳුකරයේ විශාල ඔසු උයනක් තිබුණා යැයි අනුමාන කරන්න පුළුවන්. පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වනචරක යනාදි විවිධ නම්වලින් හැඳින්වුණු ආදිවාසී ජනකොටස් මෙම ඔසු උයනේ සේවය ලබාගන්නට ඇති. සමන් දෙවියන්ගේ අඩවියේදී අතරමං වූ ශ්‍රීපාද වන්දනාකරුවන් පළතුරු බහුල වූ වනාන්තරවල දින දෙක තුන ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි සැටි විස්තර කරන මහළු උපාසක උපාසිකාවන් අදත් හමුවිය හැකිය. සතුරන් මහනුවර ආක‍්‍රමණය කළොත් නගරය ගිනි තබා කැලෑවැදී ජීවත්වීමට අවශ්‍ය පළතුරු වනාන්තර වවන ලද්දේ සෙනරත් හා දෙවැනි රාජසිංහ යන සෙංකඩගල රජවරුන් විසිනුයි. 1803 දී නෝත් ආණ්ඩුකාරතුමන් මහනුවර ආක‍්‍රමණය කළ විට සතුරා පරාජය කිරීමට මෙම පළතුරු වාන්න්තර උඩරැටියන්ට මහෝපාකාරී වුණා. මේවා සඳහා ආදර්ශය ලබාගන්නා ලද්දේ මහගිර (සමණොළගිර) හා රකුන්ගිර (රිටිගල) වැනි ඔසුඵල වනාන්තරවලින් යැයි අපට අනුමාන කළහැකිය.

පුවත්පතකින් උපුටාගත් තොරතුරු ඇසුරෙනි.

Profile photo of iilanka

by iilanka

අපේ ජාතික ගී හඩ …

February 11, 2013 in Ancient Sri Lanka

යටත් විජිත සමයේ බි‍්‍රතාන්‍ය ජාතික ගීයට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස සත්කාර කළ අපි 1948 දී ලැබූ නිදහසත් සමග අපේම ජාතික ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා සූදානම් වූ සමයයි ඒ. අද අපේම කියා ජාතික ගීයකට නමස්කාර කරන්නට ලාංකිකයන්ට හැකිවී ඇත්තේ එසේ බිහි වූ එම දැවැන්ත නිර්මාණයටයි. නමුදු මේ අභිමානවත් කතාන්දර පිටුපස යම් ශෝකාන්තයක්ද පවතී. මේ අපේ ඒ ජාතික ගීයේ නිමැවුම පිළිබඳව වන ඉතිහාස කතාවයි.

වර්ෂ 1936 දී ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගොස් සංගීතය හා චිත‍්‍ර හැදෑරූ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් යළි ලංකාවට පැමිණ සිය නම ‘‘ආනන්ද සමරකෝන්’’ ලෙසින් වෙනස් කරගත්තෙකි. ගුරුවරයකු ලෙසින් සිය වෘත්තිය අරඹා බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයෙන් හා ඉන් පසුව මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සිය වෘත්තීය කටයුතු කරගෙන යන ආනන්ද සමරකෝන් සංගීත හා චිත‍්‍ර ගුරුවරයකු ලෙසින් එවකට නමක් දිනාගත්තෙකි.

මහින්ද විද්‍යාලයීය ශිෂ්‍ය නේවාසිකාගාරයේම නවාතැන්කරුවකු වූ එතුමා මහින්දයත් එහි බාලිකා පාසල වූ සංඝමිත්තාවත් පිහිටි කඳු ගැට දෙකට මැදිව ඇති ගල් තලාව තම නිර්මාණ බිහි කිරීමේ තෝතැන්න බවට පත් කරගත්තේය. ගාල්ලේ මහින්ද භූමිය මෙරට නිදහස් අරගලයේ ජාතික සටන් මධ්‍යස්ථාන අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගත් ස්ථානයක් විය. ගාන්ධිතුමා, ජවහර ලාල් නේරුතුමා මෙන්ම තරුණ ඉන්දිරා ගාන්ධි පවා මහින්දයට පැමිණ අපේ දේශමාමක බලවේග හා එකමුතුව නිදහස් සටන තීව‍්‍ර කර ඇත. තවද තාගෝර්තුමා හා ශ්‍රේෂ්ඨ කිවිඳියක වූ සරෝජනී නායිදු මැතිනිය ද ඒ හා බද්ධ වී පෙරදිග සෞන්දර්ය කලාවක් සඳහා වූ පදනම දැමීමට හවුල් වූවාය. මහින්දය පුරා විසරණය වී තිබූ එකී දැවැන්ත පරිසරය ද සමරකෝන් ශූරීන්ගේ ගී හා චිත‍්‍ර නිර්මාණවලටද දැවැන්ත ශක්තියක් එක් කරන්නට ඇත.

මෙහිදී නිර්මාණය වූ දේශාභිමානී ගී රැසක් තැටි ගත කිරීම ද සිදු වී ඇති අතර සමරකෝන් ශූරීන් ස්වර්ණාද සිල්වා සමග ගැයු ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය රට තුළ දැවැන්ත ජනපි‍්‍රයත්වයක් ලබා ගත්තේ ද මේ අතරතුරය. 1948 අප නිදහස ලැබීමට ආසන්න යුගයේ ජාතික ගීයක් තෝරා ගැනීමට තරගයක් පැවැත් වූ අතර ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාව එහි මූලිකත්වය ගත්තේය. එම තරගයට ”නමෝ නමෝ මාතා’’ ගීතය ඉදිරිපත් කළ ද එහිදී තරඟයෙන් ජයගත්තේ ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය’’ ගීයයි. 48 පළමු නිදහස් සැමරුම් උත්සවයේදී ගායනා කළේද එයයි. එහි පද රචකයා ප‍්‍රකට කවියෙකු වූ පී.බී. ඉලංගසිංහ ශූරීන්ය. සංගීතය හා තනුව සංගීත විශාරද ලයනල් එදිරිසිංහ ශූරීන්ගේය. එහෙත් ඔවුන් දෙදෙනාම එම ගී තරගයේ විනිශ්චය මණ්ඩලයේ සිටි බවත් ඒ තුළ අක‍්‍රමිකතාවක් සිදු වූ බවටත් චෝදනා එල්ල වීම හේතුවෙන් රජය එම ගීතයේ නිල පිළිගැනීම අහෝසි කළේය. පසුව 1950 අපේ‍්‍රල් වලදී එවකට මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් කීවේ ජාතික උත්සවවලදී අනිවාර්යෙන් ගැයෙන ගුවන් විදුලියේ නිතර ඇසෙන ජනතාව විසින් ද නිල නොවන ජාතික ගීය ලෙස ගෞරව කරනු ලබන ‘‘නමෝ නමෝ මාතා’ අපේ ජාතික ගීය ලෙස පිළිගත යුතු බවය. දීර්ඝ සංවාදයකින් පසුව සමරකෝන් ශූරීන් විසින්ම කරන ලද වචන 02 ක සුළු වෙනසක් සමග 51 නොවැම්බර් 22 දා ‘‘නමෝ නමෝ මාතා’’ ලක් දෙරණේ ජාතියේ ගීතය බවට පත්විය. එහෙත් ඊට පෙර 1949 නිදහස් උළෙලේදී ද එම ගීතය සිංහලෙන් මෙන්ම දෙමළනේද ගායනා වී තිබේ. එහෙත් සමරකෝන් ශූරීන්ට නින්දා, මඩ, අභූත චෝදනා රැසක් එල්ල වන්නට විය. ආණ්ඩු පෙරළුණේ, රාජ්‍ය නායකයන් මියගියේ රට තුළ නොසන්සුන්තා ඇතිවන්නේ ජාතික ගීයේ අපල නිසා බවද සමහරු අර්ථ දක්වන්නට වූහ. ‘‘නමෝ’’ පදයේ ‘‘න’’ අක්ෂරය අසුබ බවටද හඬක් නැගිණ.

1961 දී එය ‘‘ශ්‍රී ලංකා මාතා’’ ලෙස සමරකෝන් ශූරීන්ටද නොදන්වා වෙනස් වූයේ ඒ තුළය. ඒ ගැන ඔහු දැඩිසේ කම්පා විය. මේ අසාධාරණයට එරෙහිව තමා ජීවිතයෙන් වන්දි ගෙවන බවට ඔහු කීවත් කිසිවකු එය ගණන් ගත්තේ නැත. දෙවරක් නිදි පෙති බී බේරුණු ඔහු, තුන් වැනි වර නිදිපෙති 30 ක් පානය කොට 1962 අපේ‍්‍රල් 02 දා ජාතියම හඬවමින් හා කම්පනයට පත්කරමින් ලක් දෙරණට සමුදුන්නේය. අද මුළු මහත් ජාතියම වන්දනීය ලෙස ගෞරව කරන අපේ ජාතික ගීයේ බිහිවීම හා නිල ලෙස පිළිගැනීම හා නිර්මාණකරුවාගේ ඛේදජනක ඉරණම පිළිබඳ කටුකවූත් සත්‍යවූත් කතාව එසේය.

පුවත්පත් ඇසුරෙන්

Profile photo of iilanka

by iilanka

ආඬිගල රජමහා විහාරය

January 19, 2013 in Ancient Sri Lanka, Sinhala, Sinhalen

ගමයි – පන්සලයි – වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට හිමිකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.

මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට හිමිකම් කියන විහාරයක් හැටියට හඳුනා ගත හැකිය. මෙහි වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.

ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙන පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.

ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්, මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.

විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව මතයක් පවතී. මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.

රාජාංගනය ව්‍යාපාරය අවට පිහිටි ප්‍රෞඨ ඉතිහාසයකට නෑකම් කියන ආඬිගල රාජමහා විහාරය 1969 වසරේදී පහළගම ගුණරත්න නාහිමියන් විසින් සොයාගනු ලැබ මෑත කාලීන විහාර දියුණුවට කටයුතු සම්පාදනය කරන ලදහ. දැනට විහාරයේ ක‍්‍රියාකාරී සංවර්ධන කටයුතු කැටකාලේ උපරතන හිමිගේ අනුශාසනා පරිදි සිදුවේ.

තොරතුරු පුවත්පත් ඇසුරෙන්

Profile photo of iilanka

by iilanka

අනුබුදු මිහිඳු හිමි ආදාහනය කොහේ සිදුවුනිද?

January 19, 2013 in Ancient Sri Lanka, Sinhalen

මෙරටට බුදු දහම රැගෙන ආ අනුබුදු මිහිඳු හිමියන් ආදාහනය කළ සුථානය පිළිබඳව ඔබ අසා ඇත්ද? එසේත් නැතිනම් කවුරුන් හෝ ඔබට පවසා ඇත්ද? 13 වන සියවසේ දී රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු සියලූ පුරාණ ආරාමික ඉදිකිරීම් වන වැදී ගිය අතර මෙරට ඉංග‍්‍රීසි පාලන අවධිය වන විට අවම වශයෙන් මහා ස්තූප පැවැති අභයගිරිය හා ෙඡ්තවනයවත් හරිහැටි හඳුනාගත නොහැකිව අභයගිරිය ෙඡ්තවනය ලෙසත් ඡේතවනය අභයගිරිය ලෙසත් ව්‍යවහාරයට පත්ව තිබුණි.

19 වැනි සියවසේ අග භාගයේ සිට ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධය නිසා නටඹුන් ව පැවැති අනුරාධපුර බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම ඇරඹුණ අතර 1860 න් පසු ඉංග‍්‍රීසි රජය විසින් මෙකී පුරාස්ථාන වාර්තා කිරීම සඳහා ඡායාරූප ගැනීමට ලෝටන්ද සැලසුම් ඇඳීමට ජේ ද ස්මිතර් ද කැනීම් හා සංරක්‍ෂණය සඳහා එච්.සී.පී. බෙඞ් ද පත්කරන ලදී. එකල්හි ජනවහරේ තිබූ පරිදි ස්මිතර් විසින් ඔහුගේ ආකිටෙක්චරල් රිමේන්ස් අනුරාධපුර ග‍්‍රන්ථයේත් බෙල් විසින් ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් ඇනුඇල් රිපෝර්ට් ග‍්‍රන්ථයේත් ථූපාරම ස්තූපයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් චෛත්‍යය සංඝමිත්තා සොහොන ලෙසත් හඳුන්වා දෙනලදී. ඡේතවන ව්‍යාපෘති නිලධාරීන් විසින් ඡේතවන ස්තූප සලපතළ මළුව මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය ලෙස හඳුන්වාදී ඇති නමුත් මෙම ස්තූප සලපතළ මළුව සුපරීක්‍ෂාකාරී ලෙස මූලාශ‍්‍රය ලේඛන පිරික්සීමේ දී ඉහත කී හඳුනාගැනීම් සාවද්‍ය බව ඇතැමුන්ගේ මතයයි.

මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළිබඳව වඩාත් විස්තර හමුවන්නේ මහාවංශයේ ය. පළමුව ඒ ථූපාරමය අසළ නොවන බවට ඇති සාධක විමසිය යුතුය. ථූපාරමය ඉදිකිරීම පිළිබඳව මහාවංශයේ හා ටීකාවේ සඳහන් විස්තරයේ එහි නිදන් කිරිම සඳහා සුමන සාමනේරයන් විසින් ගෙන එනලද සර්වඥ ධාතු සහිත කරඬුව පිට තබාගත් ඇතා ථූපාරාම ස්තූපය ඉදිකරන ස්ථානයට ගොස් ඇතුළේ උස ප‍්‍රමාණයට ස්තූපය බඳින තුරු ධාතු බිමට ගැනීමට ඉඩ නොදුන් බවත් ඇතා ස්තූපයට බටහිර දෙසින් බෝධිඝරය ඉදිවන ස්ථානයේ රැඳී සිටි බවත් දැක්වේ. මහාවංශය ඒ පිළිබඳව දක්වන්නේ හස්ති තෙම ථූපාරාම චෛත්‍යස්ථානයෙන් පිටුපස කරන ලද්දා වූ මහේජ වස්තු නම් දේවස්ථානයට ගොස් බෝධිස්ථානයේ නැවතී පෙරදිගට අභිමුඛව සිටි බවය.

මේ අනුව ථූපාරාමයේ බෝධිස්ථානය පිහිටා තිබී ඇත්තේ ථූපාරාම ස්තූපයට බටහිරිනි. සම සතරැුස්වූ ථූපාරාම භූමිය වටකොට පුරාණ ප‍්‍රාකාරයක් ඇති අතර ස්තූපයට බටහිරින් එම සීමාව තුළ ඇත්තේ නටඹුන්ව ගිය එක් ස්මාරකයක් පමණකි. ඊට අමතරව වෙනත් ස්මාරකයක් පිහිටීමට එහි ඉඩක් නැත.මහාවංශයේ හා එහි ටීකාවේ දැක්වෙන පරිදි මහාමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය පිහිටුවීමෙන් පසු හටගත් පළමු අටපල බෝධි අතුරින් එකක් සිටුවා ඇත්තේ ථූපාරාමයේය. ථූපාරාම භූමිය ඇතුළත වෙනත් බෝධිඝර දක්නට නැති නිසාත් මහාවංශයේ හා ටීකාවේ මෙම ස්ථානය බෝධිස්ථානය ලෙස නම් කර තිබීම අනුවත් මේ ස්මාරකය අස්ටඵල බෝධිය සිටවූ ස්ථානය ලෙස නිගමනය කළ හැකිය. ථූපාරම බෝධිඝරය අප විසින් කැනීම් හේතුවෙන්ද බෝධි පරීක්‍ෂිප්ත ව තිබූ වෘතාකාර ගඩොලූ බැම්ම ද ඒ වටා තැන්පත් කොට තිබූ සිරිපතුල් ගල්ද දැනට මතුපිට දක්නට ඇති මාලකයට යටින් වූ පැරණි බැම්මේම පනාබැම්ම වශයෙන් ගඩොලින් කළ මීටර් දෙකක් පමණ ගැඹුරැති බැම්මද හමුවිය. බෝධිය පිහිටි ස්ථානය හාරා ගැලවූ එහි බැම්මේ ගඩොළු කැබැලිවලින් වළ පුරවා තිබුණි. ලැබුණු සාධක සියල්ල අනුව ස්මිතර් දැක්වූ පරිදි මෙය මිහිඳු සොහොන නොවන බව තහවුරු විය.

මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළීබඳ මහාවංශයේ හා එහි ටීකාවේ සඳහන් වන්නේ දේහය මහා විහාරයට ගෙනවුත් එහි පැනඹ මළුවේ තබා තිබී ඉනික්බිති ව නැගෙනහිර දෙස තෙරුන්ගේ බද්ධමාලකයෙහි ආදාහනය කොට එහි චෛත්‍යයක් ද බඳවන ලද බවය. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයේ කළුරිය කළ ආර්යන්ගේ සිරුරු දවනු ලැබූ බවයි. එසේ නම් මිහිඳු හිමියන්ගේ සොහොන සෙවීමේ දී පුරාණ පැනඹ මළුව හා බද්ධමාලකය පිහිටි තැන් හඳුනා ගත යුතුය. තෙරුවන්ගේ බද්ධ මාලකයක් ගැන මහා වංශයේ හා එහි ටීකාවේ ද සඳහනක් ඇත. එනම් අරිට්ඨාදි භික්‍ෂුන් සඳහා උන් වහන්සේ විසින්ම තුම්බරු නම් වූ බද්ධ මාලකයක් බැඳ උපසම්පදා කිරීම සම්බන්ධවය.ටීකාව එය දක්වන්නේ තමන් විසින් බඳනා ලද තුම්බරු නම් මාලකයෙහි පළමු වරට කර්ම වාක්‍යයෙන් උපසම්පදා කර්මය කළහ මිහිඳු හිමියන් මහමෙව්නාවේ (මහා විහාරයේ) වැඩ වාසය කළේ ශ්‍රී මහා බෝධිය අසළ රාජගෘහයේ බවද පසුව ඉදිකළ කාලපාසාදය එතැනට මඳක් උතුරින් වූ බවද වංශකථාවේ සඳහන් වේ. මහා විහාරය යනුවෙන් එකල අදහස් කර ඇත්තේ විශේෂයෙන් මිහිඳු හිමියන් වැඩ සිටි ආවාසය හා අවට ගොඩනැගිලිය.

ක‍්‍රි.ව. 411 දී පමණ ෆාහියන් හිමි මහා විහාරය පිළිබඳ ව විස්තර කිරීමේ දී තමා රහත් හිමි නමකගේ ආදාහන කටයුතු දුටු බවත් ආදාහනය කළේ විහාරයෙන් ලී 4-5 ක් නැනෙහිර දෙසින් බවත් දක්වයි. ෆාහියන් දේශාටන වාර්තාවේ විමල් බලගල්ල පරිවර්තනයේ එය වරදවා නගරයෙන් නැගෙනහිර යැයි සඳහන් කර ඇත. ලී 4-5 යනු කි.මීටර් එකක පමණ වේ. බොහෝ සෙයින් ෆාහියන් හිමි සඳහන් කරන්නේ මිහිඳු මිහියන් ආදාහනය කළ ආදාහන භූමිය වන විට මෙම ස්ථානය වෙනස් විය හැකි බැවිනි.මහා විහාර භූමියේ මධ්‍යස්ථානය වූයේ මිහිඳු හිමියන් වැඩ සිටි ස්ථානයයි. ඒ ශ්‍රී මහා බෝධි පරිශ‍්‍රයේ බටහිරින් පිහිටි රාජගෘහයයි. මේ අනුව විහාරයෙන් නැගෙනහිර යනු බොහෝ සෙයින් පැනඹමළුව තිබූ තැනින් නැතහොත් ශ්‍රී මහා බෝධිය පිහිටි තැනින් නැගෙනහිර විය යුතුය. ලෝවාමහාපායෙන් නැගෙනහිර කෙළින්ම යොමු වන්නේ මල්වතු ඔය බටහිර සීමාවටය. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කර ඇත්තේ ලොවාමහාපායට පිටුපස එනම් නැගෙනහිර ස්ථානයක බවය.

පුවත්පත් ඇසුරෙන්.

Profile photo of iilanka

by iilanka

බුදු සමයටත් පෙර සිරිලක තූප කලාව

December 21, 2012 in Ancient Sri Lanka

ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි පුරාවෘත අතීතයක් හිමිව ඇති කාලනීර්ණය අනුවද ඒ හා අතීතයක් ඇති රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ යුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි. අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ ස්තූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත.

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ දැනට විමර්ශණ කාර්යයන් සිදු කෙරීගෙන යන මෙම තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය. 1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය.

දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය. මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි.

2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සපයා ඇත. දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය.

එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.

ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල – රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.

ක‍්‍රි.පූ. 200ට අයත් යැයි සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි. ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.

එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.

මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි.

සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත.සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක් දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත.

සාමාන්‍යයෙන් පුරා විද්‍යා සන්දර්භවල රෙදිකඩ රැඳී තිබෙන්නේ නැත. එහෙයින් මෙය විරල හමුවීමකි. ධාතූන් වහන්සේලා නිධන් කරද්දී සේද රෙද්දෙන් ආවරණය කර ඇත. සේද රෙද්දෙන් එතූ කරඬුව හමුවද්දී එම සේද රෙදිකඩ තිබුණේ කරඬුවටම ඇලී ගිය ස්වභාවයකිනි. සේද රෙදි කඩ ආරක්ෂාවී තිබුණේ ද එහෙයින්මය. එය අද දෑසට හසුවන්නේ අවර්ණවත් රෙදිකඩක් ලෙසය.

ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳ විශෙෂඥවරියක වන මහාචාර්ය ජූඞීන් කැමරන් විසින් කොටවෙහෙරින් හමු වූ සේද රෙදිකඩ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන ලදී. එම සේද රෙදි කඩ කවර දේශයක කවර තැනක නිපදවූවේද යන්න පිළිබඳව සොයා බලන්නට සාධක නැති වුණත් මේ කාලය වෙද්දී සේද මාවත ඔස්සේ පැමිණෙන සබඳකම් පැවති බවට ඉතිහාසය දෙස් දෙයි.

එහෙයින් මෙම සේද රෙදිකඩ සේද මාවත ඔස්සේ මෙරටට ගෙන එන ලද්දක් විය හැකි බව අපට විශ්වාස කළ හැකිය.ඉතිහාසයේ විචිත‍්‍රවත් කඩඉම් පොළෝ තලයේ මහ ගැඹුරේ මෙන්ම නටඹුන් තුළ ද ශේෂව පවතියි. මේ ඒ බොහෝ වූ සැඟවුණු අතීත තොරතුරු කදම්බයක් අතරින් මතු වූ එක් අතීත පරිච්ෙඡ්දයක සලකුණු පමණි.