You are browsing the archive for Sinhala Books.

Avatar of iilanka

by iilanka

වර්ෂ එක්දහස් අටසිය ගනන්වල මහනුවර පරිපාලනය

November 23, 2011 in Ancient Sri Lanka, Sinhala, Sinhala Books

එදා මහනුවර කේන්දීයව සිදුකෙරුණු පාලනයේ රජුට සහය දැක්වීම පිණිස රජු විසින් පත්කර සිටි රදළ පධානීන් මෙසේය. පළමු අදිකාරම සහ දෙවැනි අදිකාරම රජුට සමීපයෙන්ම සිටි රජුට වඩාත්ම පක්ෂපාතී නායකයන් දෙපළ වූහ. මෙම අදිකාරම් දෙපල යටතේ හතර කෝරළේ ,හත් කෝරළේ ,මාතලේ ,තුන් කෝරළේ , සබරගමුව ආදී ලෙස දිසා 12 භාර දිසාවේ වරු වූහ. රාජසිංහ රජු සමයේ ඌව දිසාවෙන් වෙන් කරනු ලැබූ සබරගමුවද ඇතුලත්ව එම දිසාවන් මෙසේය. හතර කෝරළේ, හත් කෝරළේ, ඌව, සබරගමුව, මාතලේ, තුන් කෝරළේ, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව. මෙම පධාන දිසා 12ට අමතර කුඩා පරිපාලන පදේශ රට නමින් හැඳින්වූ අතර ඒවායේ පාලනය සිදුවූයේ දිසාවේ කෙනෙකු අතින් නොව රටේ මහත්තයා නම් නිළධාරියා විසිනි.

දිසාවේ වරයෙකුට සිය පරිපාලන බල පදේශය තුල අධිකරණ සහ සිවිල් බලතල පැවරී තිබුණි. සේවා කාලය වසරක් වන දිසාවේ කෙනෙකු රජුගේ සිත්ගත් පරිදි සේවා දිගුවන්ට උරුමකම් කියයි. නිසි කලට බදු එක්කර දීම සහ අගනුවර පොදු වැඩකටයුතු සඳහා මිනිසුන් සැපයීම දිසාවේට අයත් පධානම රාජකාරියයි. පත්වීමත් සමඟ රජුගෙන් ලැබෙන ඇතෙකු හෝ අශ්වයෙකු දිසාවේ වරයෙකුට හිමිය. එයට අමතරව සිය දිසාවේ ගමන් යෑමට පල්ලැක්කිය යොදාගත හැකිවිය. නමුත් රජු බැහැදැකීමට ඒවායෙන් යාමට ඔහුට අවසර නොවීය.

රටේ මහත්තරුන්ගේ පාලනය යටතේ වූ කුඩා බල පදේශ මෙසේය. උඩුනුවර, යටි නුවර , තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර,හේවාහැට, මී මුරේ, කොත්මලේ .මේ හැර උඩ බුලත්ගම සහ පාත් බුලත්ගම ලෙස කුඩා පාලන පදේශ දෙකක් ද විය. රටේ මහත්තයා රාජ සභාවේදී හඳුන්වා ඇත්තේ රටේ රාළ වශයෙනි. පභූ පවුල් වලට අයත් වූ එහෙත් දිසාවේ වරුන්ට වඩා පහත් ශේණියේ රදළයන් රටේ මහත්වරු වූහ. අධිකරණ බලතල සහ සිවිල් බලතර තිබුනද, දිසාවේ කෙනෙකුගේ තීන්දුවක් ඉක්මවීමට ඔවුනට නොහැකි විය. දිසාවේගේ ආරක්ෂක කටයුතු සිදුකල අතපත්තු වරුන්ගේ නායකත්වය දැරූයේ අතපත්තු මොහොට්ටාල නම් නිලධාරියා විසින් වූ අතර ආයුධ භාර සහ කත් ඉසිලූ පදු ජනයාගේ පරිපාලනය භාර නිළධාරියා වූයේ කොඩිතුවක්කු මොහොට්ටාලය.

පරිපාලනයට සෘජුව දායක නොවූ නමුත් පාලන තන්තය මනාව ගෙනයාමටත් විශේෂිත රාජකාරි සඳහාත් පත්කර සිටි තවත් රදළ පිරිසක් ද එවකට මහනුවර විසූහ. ඔවුන් වූ කලී මහ දියවඩන නිලමේ, පල්ලෙ වාහල දියවඩන නිලමේ, මහ ගබඩා නිලමේ, පල්ලෙ වාහල ගබඩා නිලමේ, වන්නකු නිලමේ දෙපල, බත්වඩන නිලමේ, ගජනායක නිලමේ, මහ ලේකම්, අතපත්තු ලේකම්, වෙඩිකාර ලේකම්, නානායක්කාර ලේකම්, පඩිකාර ලේකම්, මඩුවේ ගන්කාර ලේකම්, කුරුවේ ලේකම් වරු, රන් ආවුද මණ්ඩපයේ ලේකම්, සැතපෙන ගේ ලේකම්, සුදලියේ මුහන්දිරම්, මරු වල්ලියේ මුහන්දිරම්, දළදා මාලිගාවේ දියවඩන නිලමේ සහ සතර මහා දේවාලයන්හි බස්නායක නිලමේ වරුන්ය.

කෝරාල යනුවෙන් සිටි නිළධාරියා පසුකලෙක අසන්නට දකින්නට ලැබුනු කෝරළේ මහත්තයා නොව මොහොට්ටාල වරුන් යටතේ සිටි යටත් නිලධරයින් පිරිසකි. තවත් අතකින් ඔහු දිසාවේගේ නියෝජිතවරයෙක් විය. තමන්ට හිමි පත්තුවේ එසේත් නැතිනම් ගමේ බදු මුදල් අයකිරීම කෝරාලගේ පධානතම වගකීම විය. නමුත් කෝරලේ ගම් නමින් හැදින්වූ පදේශවල ජීවත් වූ නිදහස් මිනිසුන් පිරිසක් ගැනද සඳහන් කළ යුතුමය. යුදමය කටයුතු වලට දායකත්වය දැක්වූ හේවාගම් හෙවත් හේවා වසම් වූ මේවා ඉහත පධානින්ගේ පාලනයෙන් මිදුනු නිදහස් පදේශ විය. දිසාවේ යටතේ පාලනය වූ විදානගම් හි පාලනය විදානේ වරුන් විසින් කරගෙන ගිය අතර ඔවුන්ට සිය බල පදේශයේ වැසියන් ලවා ඕනෑම පුද්ගලික වැඩක් කරගැනීමේ හැකියාව තිබුනි. අයබදු වලට අමතරව ගමේ හිමිකරු වශයෙන් මුත්තෙට්ටු නම් ධාන්‍ය බද්දක් ඔවුනට ලැබින. ගමේ ආරක්ෂාව ඔවුන් භාරයේ වූ අතර තානායම් වූයේනම් ඒවා රැක්කේද විදානේ වරුන් විසින්ය. මෙම නිලධාරීන්ට අමතරව ආරච්චි, ලියන රාල, මනන්නා, කංකානම ආදී සුළු නිලධාරීන් රාජකාරියේ නිරත වී ඇත.

—————————————————–
රැල්ෆ් පීරිස් විසින් රචිත නුවර යුගයේ සිංහල සමාජය පිළිබඳ කෘතිය ඇසුරෙන්

Avatar of iilanka

by iilanka

හෙළදිව පාලනය දේවයන්ගෙන් භික්ෂූන්ට ( දෙවන කොටස)

November 15, 2011 in Ancient Sri Lanka, Sinhala, Sinhala Books, Sinhalen

සිතුල් පව්වේ කොරවක් ගල ඇති අංක IC 621 දරණ සෙල් ලිපියේ බුදු රජානන් වහන්සේට තිස්ස රජු සහ බිසව විසින් පූජා කළ ලෙනක් ඇත. මෙරටදී හමුවන,සෙල්ලිපි වලින් බුදුන් වහන්සේට සිදුකළ පූජාවක් ගැන දැක්වෙන එකම සෙලි ලිපිය මෙයයි. මෙම තිස්ස රජු කැළණි තිස්ස හෝ කාවන් තිස්ස විය හැකිය. මෙය මාගමට අයිති බැවින් බොහෝ විට මේ කාවන් තිස්ස රජු විය හැකිය. බුදුන් පැමිණ දෙසු දම් අසා සෝවාන් වූ සුමණ දේවයා දේව පාලනයෙන් ඉවත් වන්නට ඇත. මහාවංශයේ පිළිගත ‍නොහැකි වර්ෂ පිළිබඳ නොසලකා  සෙල්ලිපි සාක්ෂි පමණක් ඇසුරෙන් එළැඹිය හැකි තීරණයනම් සුමණගේ සෝවාන් වීමෙන් පරම්පරා දෙකකට නොවැඩි කාලයකදී ගැමුණු කුමරු රජ වී ඇති බවයි. මෙවන් මහාවංශයේ ගැටළු සහගත තැන් පිළිබඳ ඉදිරියේදී ලිපි මඟින් සාකච්ඡා කරනු ලැබේ.

දේව වංශයේ බිඳ වැටීමත් සමඟ රාජ වංශය සිංහල සමාජයේ ඉස්මතු වන්නට පටන් ගත්තේය. නමුත් සැබැවින්ම පාලක පන්තියේ දේවයන්ගේ ස්ථානයේ සිටියේ බෞද්ධ භික්ෂුවයි. දේව පාලන සමයේ දේව කාර්යයන් වූයේ අධ්‍යාපනය, විනිශ්චය සහ යුද්ධය හෙවත් රට රැකීමයි. මෙයින් යුද්ධය භික්ෂුන්ට අකැප බැවින් එය රජුන්ට භාර විය. සෙසු දේව කාරි දෙක සඳහාම භික්ෂුව සෘජුව දායක විය. දේව කාරීන් තුනෙන් දෙකක් භාරව සිටි භික්ෂුන්ගේ හොඳහිත දිනාගැනීම තුළ යුද්ධය භාර රජුට පහසුවෙන් රට කරවන්නට හැකි විය.  ඉන්දියාවේ බමුණු ආශිර්වාදය රජෙකුට පාලනය ගෙනයාමට වැදගත් වීම මීට සමාන සිදුවීමකි. වැසියන්ගේ සංස්කෘතික මනස හසුරවනු ලැබූයේ පන්සල විසිනි. එබැවින්ම රටේ අගනුවරදී මුහු වූ ආයුර්වේදය, මහායාන දර්ශණය ආදිය ඈත වැව් ගම් කරා ගියේ නැත.

දේව පාලන යුගයේ දේවයා සෙස්සන්ට වඩා උගත්, සිල්වත් නමුත් සටන්කාමී පුද්ගලයෙකු විය. පසු කාලීනව දේවයාගේ තැනට ආ භික්ෂුවද සිල්වත් සහ උගත් විය. සම්පූරණ වශයෙන් මෙසේ දේව වංශයෙන් භික්ෂු පන්තියට පාලනය මාරු වීමට සිවයස් දෙකක්වත් ගතවන්නට ඇතියැයි සිතිය හැක. මුල් යුගයේ භික්ෂුව ගල් ලෙන් ඇසුරේ දිවි ගෙවූ සංචාරක ජීවිතයකට හිමිකම් කියූවෙකි. පසුව සමාජගතවී පණ්න ශාලා හෙවත් පන්සල් ඇසුරට භික්ෂුව පත්විය. ගම් වාසී භික්ෂු පරපුර එසේ වර්ධනය වෙද්දී බුදුන් දෙසූ මඟ යමින් විදසුන් වඩා රහත්වීම අරමුණු කරගත් ආරණ්‍ය වාසී භික්ෂු පරපුර කෙමෙන් හීන වන්නට විය. බැඳිම් ඉවත හැරීම, ආශාවන් අත හැරීම වැනි භික්ෂු චර්යා ඉවත්කොට නව භික්ෂුව අල්පේච්ඡතාව, පරහිතකාමී බව වැනි සාධු චර්යාවන්ට  පමණක් යොමු වූයේ දේවයා සතුව පැවති ගති ලක්ෂණ ආරූඪ කරගනිමිනි. දෙවයන්ගේ අණ ඉක්මවීමට මැලි වූ හෙළයෝ නව භික්ෂුවගේ බණ ඉක්මවීමටද බිය වූහ. දෙවයන් නොමැති සමාජයේ සිටි ආදේශකයන් බෞද්ධ භික්ෂුන් වීම එයට හේතු විය.

වසර 1847 දක්වාම භික්ෂුන් මෙම දේව පාලන කටයුත්ත කරගෙන ගොසු ඇත. එවකට අග විනිසුරු වරයෙකු වූ සර් ඇන්තනි ඔලිපන්ට් විසින් යටත් විජිත භාර මහ ලේකම් වරයාට ලිපියක් යවමින් දන්වා ඇත්තේ පාසැල් අධ්‍යාපනය සහ අධිකරණ කියාදාමය නිසි පරිදි කියාත්මක කර නොහැක්කේ කහ ලෝගු හැඳි හිස මුඩු ස්වදේශීය තාපස පිරිසක් විසින් සිය මධ්‍යස්ථාන තුලදී ලබාදෙන මිත්‍යා අධ්‍යාපනයට සහ ආරවුල් සඳහා මෙම ස්ථාන වලදී දෙන තීන්දු සඳහා ස්වදේශියන් මහත් කැමැත්තක් දක්වන බවයි. එය මෙසේ භික්ෂුව රටේ පාලනයට සෘජුව දායක වෙමින් දේව කාරීන් ඉටුකළ බවට ඇති හොඳම ලිඛිත සාක්ෂියයි. දේවයන් නැති අඩුව පුරවාලමින් එතැනට පැමිණි භික්ෂුවට රට වැසියා පුරුදු වන්නට වැඩිකල් ගියේ නැත. දේවයන් තුල වූ පැවැත්මන් පමණක් නොව බාහිර පෙනුමෙන්ද භික්ෂුව වඩාත් ආකර්ශණිය විය. සැබෑ බෞද්ධ භික්ෂුව අතින් ඉන්දීය සමාජයට සේවයක් ඉටු නොවින. එබැවින් බුදු සසුන ඉන්දියාවෙන් විනාශ විය. නමුත් රටේ පාලනයට සෘජු දායකත්වයක් දැක්වෘ මෙරට භික්ෂුව රට වැසියා විසින් රැක්ක නිසාවෙන්ම අදටද බුදු සසුන මෙරට පවතී.

බෞද්ධ සාහිත්‍යය තුළ සුමණ දේවයා සමන් දෙවියන් විය.මායාසුර දේවයා විශ්ව කර්ම දෙව්පුත් කර ඇත. මාතලේ දේවයා මාතලී දෙවියාය. දේවයානී කුමරිය පත්තිනි දේවිය කර ඇත. දෙවයන් ගමන් ගියේ විමාන හෙවත් ගුවන් යානා වලය. ගමන ගොඩින්ද බිමන ගුවනින්ද විය. සංස්කෘත බසින් විමාන වූ මෙය බෙංගාලි බසින් බිමාන නම් වේ. බංගලි දේශයේ බිමාන එයාර් ලයින්ස් එයට හොඳම උදාහරණයයි. රටට යහපතක් කළ අය මරණින් මතු දේවයන් කරවා පුද පූජා තැබීමට රට වැසියෝ පුරුදු වූහ. මහසෙන් දෙයියෝ, ගලේ බණ්ඩාර දෙයියෝ, ආදී දේවත්වයට පත් වූවන් අතර අවසානයා වන්නේ 1864 දී මියගිය කැළණි ගඟ රංවල තොටුපලේ අප්පු සිං‍ඤෝ තොටියාය. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පුවක් පිටිය දේවාලයට පඩුරු දමා යන්නේ මෙම රංවල දෙවියාටය.

එරංග හේමජිත්.
ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ලංකා ඉතිහාසයේ හෙළ යුගය කෘතිය ඇසුරෙන්.

Avatar of iilanka

by iilanka

හෙළ අසුර අධිරාජ්‍යය (Hela Asura Kingdom)…

September 29, 2011 in Ancient Sri Lanka, Sinhala, Sinhala Books, Sinhalen, Sri Lankan History

එදා හෙළදිව විසූ වැසියන්ගේ ඒකමතයෙන් රාජ්‍යත්වයට, එසේත් නැතිනම් හෙළයන්ගේ නායකත්වයට පත්වූ පළමු රජු මනු නම් වේ. මනු වෛශ්වත යනුවෙන් සංස්කෘතික පොත පතෙහි සඳහන් වන්නේද මොහුය. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ මතයට අනුව, මනු රජු විසින් සිය අගනුවර ලෙස තෝරාගන්නේ මනු+නා+අරම නොහොත් මන්නාරමයි. ආදම්ගේ පාලම නම් ගල් පාලම ද, මුලින්ම මිනිස් ඇට‍කැබලි සහිත බඳුන් සොයාගත් පොම්පරිප්පු ආසන්නයේ ද වන නිසා මෙම මතය අසත්‍යයයැයි එකවරම ඉවත දැමිය නොහැක.

මහාසම්මත මනුගේ පරපුර රජවරුන් 28කගෙන් සමන්විත විය. ඔවුන්නම් මහාසම්මත මනු, රෝජ, වරෝජ, කල්‍යාණ, වරකල්‍යාණ, උපෝසථ, මහමන්දාතු, වරමන්දාතු, චේතිය, චේතියගේ පළමු පුත් දෙවන චේතිය, මේ ආකාරයෙන් පස්වන චේතිය දක්වාද, මහ මුචලින්ද, මුචලින්ද, සාගර සහ දෙවන සාගර, භරත, රුචි, සුරුචි, පතාප, මහා පතාප, පහද, සුදස්සී, නෙරූප, මහා නෙරූප සහ අසිරිමත් ය.

අසුර යනු මෙරට විසු ජන වර්ගයන්ගේ සමූහ නාමයයි. ඒ තුළ ජන වර්ග හතරක් විය. එනම් යක්ක, නාග, රාක්ෂ සහ දේව යන ජන කොට්ඨාස හතරයි. රාමායනයේ හනුමා විස්තර කරන ආකාරයට ලංකාපුරය තිබුනේ මුහුද අයිනේය. සිරගතකර සිටි සීතා සිය කුටියේ ජනේලය විවෘතකළවිට මුහුදු සුළං ඇයට රාම පිළිබඳ ශෝක ගීත ගෙනආ බවද සඳහන් වේ. ප්ලේටෝ විසින් සඳහන් කරන අත්ලාන්තිස් පුරවරය ද ලංකාපුරයට අතිශයින් සමානය. තවද මේ දෙකම අවසානයේ මුහුදට ගිලාබැස ඇත.

(ආචාර්ය සූරිය ගුණසේකරයන්ගේ ලංකා ඉතිහාසයේ හෙළ යුගය කෘතිය ඇසුරෙන්)

මීළඟ කොටසින් හෙළ අසුර අධිරාජ්‍යයේ බිඳවැටීම

Avatar of iilanka

by iilanka

Anoma Janadari’s Punarukthi 03rd Seminar

September 19, 2011 in Sinhala, Sinhala Books, Sinhalen

ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී විසින් රචිත පුනරුක්ති කෘතිය පසුගිය දිනවල මෙරට පාඨකයන් අතර බොහෝ සෙයින් කතාබහ‍ට ලක්වූ කෘතියන් ලෙස හඳුන්වාදිය හැකිය. ලේඛිකාව විසින්ම හඳුන්වාදෙන ආකාරයට එය ඇගේ කතාවයි. ලාංකීය සමාජය තුල ස්ත්‍රියක මුහුණදෙන්නා වූ අනේකවිධ අඩන්තේට්ටම් සහ පීඩනයන් ද, ඒ ගැටළු සමාජයට හෙලිදරව් නොකිරිම සහ එසේ හෙළිදරව් නොකරන්නේ මන්ද යන කරුණුද, ලාංකීය සමාජය තුල පුරුෂයාගේ ලිංගික දැනුමේ අසම්පූර්ණත්වය ආදී මාතෘකා ඔස්සේ දිගහැරුණු පුනරුක්ති තෙවන මහජන සම්මන්ත්‍රණය පසුගිය 18 වැනි දින කොළඹ බණ්ඩාරනායන අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක් මැඳුරේදී පැවැත්වින. ජගත් වැල්ලවත්ත, යෝගී පියසිරි කුලරත්න සහ යසාංජලී දේවිකා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයට සමගාමීව පුනරුක්ති කෘතිය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේ කටයුත්තටද මුල්පියවර තබන ලදී.


සාකච්ජාවේදි ඉදිරිපත්වූ කරුණු අනුව මෙරට තුල ලිංගික හිංසනයට ලක්වූ ලාබාලතම දරුවාගේ වයස මාස 03කි. තවද මෙරට තුළ ලිංගික අතවරයන්ට පත්වන දරුවන්ගෙන් 80% කට පමණම එම හිංසන සිදුවන්නේ සිය පවුලේම හෝ ළඟම ඥාතියෙකුගෙන් බවද එහිදී අනාවරණය කරන ලදී.තවද දූෂණයට ලක්වූ කාන්තාවන් නීතිය ඉදිරියට යාමට දක්වන මැලිකම සහ එසේ වීමට හේතු වී ඇති සමාජයීය සහ නිතිමය ගැටළුද මෙම සම්මන්ත්‍රණයේදී කතාබහට ලක්විය. එමෙන්ම සාකච්ජාවට සහභාගීවූ බොහෝදෙනෙකු මෙය සාහිත්‍ය කෘතියකට වඩා පුළුල් සමාජ විවරණයක් සහ කාන්තා හඩක් ලෙස හඳුන්වා දුන්හ.
සම්මන්ත්‍රණය අවසානයේ අනෝමා ජනාදරී විසින් සිය පොතේ සංක්ෂිප්තයක් ගෙනහැර දකවමින් ප්‍රේක්ෂකයන්‍ වෙත ඇය ඇයගෙන්ම ඇසූ ප්‍රශ්ණ දෙකක් ඉදිරිපත් කරන ලදී. එනම් පිරිමි සත්වයා විසින් ගැහැණු සත්වයාගේ සිතුම් පැතුම් තේරුම්ගෙන ඇතිද යන්න සහ එය එසේ නොවන නිසා ඇය කුමක් කළ යුතුද යන්නයි. ඒ අනුව පීඩනයට ලක්වන කතුන් වෙනුවෙන් සිය කතාව සමාජගත කළ බවත් ඒ නිසාවෙන්ම සමාජයේ බහුතරයක් පිරිමින්ගේ විවේචනයන්ට සහ තර්ජනයන්ට ඇය ලක්වෙමින් සිටින බවද ඇය මෙහිදී සඳහන් කර සිටියාය.මෙම පොළවේ මතු උපදින සහ ජීවත්වන ගැහැණු දරුවන්ට යහපත් හෙටක් උදාවේවා යි යන්න සිය ඒකායන පැතුම බවත් ඇය පවසා සිටියාය.

Avatar of iilanka

by iilanka

Muthu Ahurak Sinhala Book Review

September 14, 2011 in Sinhala, Sinhala Books, Sinhalen, Sri Lanka

අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාලයේ සමාජ ජාල භාවිතය අද වන විට ලාංකේය සමාජයේ බහුලව දැකිය හැක. අන්තර්ජාල සමාජ ජාල, එසේත් නැතිනම් අන්තර්ජාලය ඔස්සේ මිතුරු මිතුරියන් හඳුනාගැනීම අරභයා දෛනිකව අන්තර්ජාලයට පිවිසෙන පිරිස දිනෙන් දින ඉහල යාමක් දැකිය හැක. කාර්ය බහුල සමාජයේ හුදෙකලා වූවන්, කොහේ හෝ තැනෙක සිට තමාගේ අදහස් ලොවටම කියන්නවුන්, ආතතියෙන් මිදීම උදෙසා අන්තර්ජාල ගතවන්නවුන් සේම සිත්හි සිරවූ දහසකුත් එකක් සිතුවිලි සයිබර් අවකාශයේ මුදාහරින්නට අන්තර්ජාල ගතවන්නවුන් ඒ අතර වෙයි.

මෙකී අවශ්‍යතාවයන් සපුරාලනු වස් බිහිවූ විවිධ වෙබ් අඩවි අතර ෆේස්බුක් වෙබ් අඩවිය අද වන විට මුල්තැන් ගෙන ඇත. වසර ගනනාවක් තිස්සේ ක්‍රමිකව වර්ධනය වූ මෙරට ෆේස්බුක් භාවිතය තුල සිංහල යුනිකෝඩ් හඳුන්වාදීමත් සමඟම නව පිබිදීමක් දක්නට ලැබුනි. මෙතෙක් කලක් පත්තර, සඟරා වලට පමණක් සීමා වූ සිංහල නිර්මාණකරුවන්ට සයිබර් අවකාශයේ ඉඩක් ලැබුනු මෙම අවස්ථාව සිංහල කවියටද නව ජරිච්ජේදයක් එක්කල අවස්ථාවකි.

තත්වයෙන් උසස්, තත්වයෙන් පහත්, අර්ථවත් මෙන්ම අර්ථ ශුන්‍ය නිර්මාණද බිහිවිය. මතවාද ගොඩනැඟුනි. සමහරක් මතවාද බිඳවැටුනි. එහෙත් සියල්ලන්ම සිය සිතැඟි අන්තර්ජාලයේ රිසිසේ මුදාහරින්නට පසුබට නොවූහ. සෑම නිර්මාණයකටම රසික පිරිසක් ගොඩනැඟී තිබින. ෆේස්බුක් වෙබ් අඩවිය තුල කණ්ඩායම් බිහිවන්නේ මෙවන් අවධියක් තුළයි. එක් අරමුණක් මතවාදයක් ඇති පිරිස් ඒ කණ්ඩායම් වටා රොක්වන්නට ගති. මෙවන් යුගයක කොක්කුත් කාක්කොත් එකම අත්තක යන පාඨයද පෙරදැරිව එක්තරා ෆේස්බුක් කණ්ඩායමක් බිහිවිය. එය රූ කණ්ඩායමයි. විවිධ අදහස් ඇත්තවුන්, විවිධ ඉසව් ජයගත්තවුන් එක්වී සයිබර් අවකාශයෙන් පිටතදී හමුවන්නට කතිකාවතක් ගොඩනැ‍ගෙන්නේ මේ අතරතුරදීය. සයිබර් අවකාශයෙන් එහාට ගොස් මෙම මිතුරු පිරිස් සුහද හමු පවත්වන්නේ සහ ඒ හමු තුළදී සිය මතවාද අදහස් හුවමාරු කරගන්නේත් ඒ අනුවය. මුල් යුගයේ සුහද හමු පසුකාලීනව වඩාත් අර්ථවත් කරමින් රූ, සිය තුන්වන හමුව මන්ද මානසිත ළමා නිවාසයක ළමුන් සමඟ ගතකරමින් සහ ඔවුන්ට ආධාර උපකාර ලබාදෙමින් පසුගිය දිනෙක පැවැත්වූයේ ලොව පුරා විසිරී සිටින රූ සාමාජිකයන්ගේ නොමඳ සත්කාරද සමඟිනි.

රූ පවුලේ සිව්වන හමුව රූ සහෘදයන්ගේ නිර්මාණවලින් හැඩගැන්වුන කාව්‍ය සංග්‍රහයක් ලෙස එළිදක්වන්නට ඔවුන් සූදානමින් සිටී. 2011 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට සමගාමීව පැවැත්වෙන මෙම “මුතු අහුරක්” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් මස 24 වන දින මධ්‍යහ්න 12 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක් මැදුරේදී පැවැත්වීමට නියමිත බව රූ සහෘදයන් පවසා සිටී.