You are browsing the archive for Sinhala Short Stories.

Profile photo of iilanka

by iilanka

කාන්තා දිනය සහ සිරියාවතීලා…

September 9, 2011 in Sinhala Short Stories, Sinhalen

තවත් දවසකට සිරියාවතීගෙ ලෝකය‍ට ඉර පායලා. උදේ පාන්දරම ලිප ඇවිලෙන්නෙ පවුලෙ කාගෙත් උදේ ආහාරය වෙච්චි කහට කෝප්පය හදාගන්නයි.සිරියාවතී මාටින්ව කසාද බැන්දෙ මීට අවුරුදු විස්සකට විතර ඉස්සර. අප්පච්චි මැරිච්ච වෙලාවෙ පවුලෙ බර කරට ගන්න පිරිමියෙක් සිරියාවතීලගෙ පවු‍ලට හිටියෙ නෑ. අප්පච්චිත් එක්ක හවුලෙ මුහුදු ගියපු මාටින් සිරියාව කැන්දන් එද්දී සිරියාවතීට වසස දාසයක් දාහතක් වෙන්ඩ ඇති. එදා ඉදල පවුලෙ බර කරට ගත්තෙ මාටින්. මුහුදෙ නොයන හැම දවසකම මාටින්ගෙ තුරුළෙ ඉන්න හීනයක් සිරියාවතීටත් තිබුනා. ඒත් කවදාවත් එළි නොවුන ඒ හීනෙ වයසත් එක්කම සිරියාවතීටත් අමතක වෙලා ගියා.

දින සති අවුරුදු වලින් කාලය ගෙවිල යද්දි සිරියාවතී දරුවො පස් දෙනෙකුගෙ අම්ම කෙනෙක් වෙලා. බාලම එකී නාලිකා ඉපදෙන්න ඉන්දෙද්දි තමයි මාටින් සිරියාවතීට පිටුපාල කාන්තිත් එක්ක දීගකන්න පටන් ගත්තෙ. එදා පොලීසියට යන්න තරම් දැනුමක් සිරියාවතීට තිබුනෙ නෑ. තිබුනත් නඩු කියන්න තරම් වත්කමක් තමන්ට එදා නොතිබුන වග දැන් සිරියාවතී දන්නවා. මාටින් නැතිව පාළුවෙලා ගිය ලණු ඇදට සයිමන් එන්න යන්න පටන්ගත්තෙ ඔන්න ඔය අතරෙයි.

මාටින් වගේ නෙවෙයි සයිමන්. මනුස්සකම ඉහවහා ගිහිල්ලා. සිරියාවතී මුලින් හිතුවෙ එහෙමයි. කවදාවත් මුහුදු නොයන සයිමන් හැමදාමත් සිරියාවතී එක්ක හිටියා. ඒති සයිමන් වැඩිකලක් නොගිහින්ම තමන් කවුද කියන එක සිරියාවතීට පැහැදිළිකරල දුන්නා. ” හැමදාමත් මෙහෙම ඉදල හරියන්නෙ නෑ සිරියෝ. මං දන්න සුදුමහත්තුරු කීප දෙනෙක් ඉන්නවා. මං හෙට එක්කන් එන්නම්. එකපාර ගානක් හොයාගන්න පුළුවන්නෙ බං”. සයිමන්ගෙ ඒ කතාවට සිරියාවතීගෙ සර්වාංගෙම හිරිවැටිල ගියා. අගහිගකමින් පීඩිත සිරියගේ පහස ලබන්නට සයිමන් කැටුව ආ සුදු මහත්තුරු එදා ඉදල හැමදාමත් පුංචි උන් ඉස්කෝලෙ යනකම් වැටකෙයිය ගාල ළග කැරකෙන එක සාමාන්‍ය දසුනක් වුනා.

දුලීකා, සිරියාවතීගෙ ලොකු කෙල්ල. යාන්තම් ඇහැට කනට පේන්න පටන්ගත්ත විතරයි, ගමේ හයිකාරය ගුණසේනගෙ බැල්ම ඒකීට වැටෙන්න පටන්ගත්ත. සයිමන්ගෙ කීමට පටන්ගත්තු රස්සාවෙන් ඉතුරුකරගත්ත සල්ලිටිකෙන් කෙල්ල ටවුමෙ ඉස්කෝලෙකට දාගන්න සිරියට තවත් දෙතුන් දෙනෙක් එක්කම යහන්ගත වෙන්නත් වුනා. එහෙම කරලත් ගමෙන් කරදරයක් නොවෙන්න ටවුමට පිටත්කරපු එකී කොහේදෝ යන නොසන්ඩාලයෙක් අතින් අනාථ වෙලා බඩකුත් එක්ක ආපහු ගමට එද්දි සිරියාවතීට මොනවනම් හිතෙන්න ඇද්ද.

“පොලීසිවලට ගිහින් වැඩක් නෑ” සයිමන්ගෙ එක උත්තරෙන්ම නීතියෙන් සහනයක් ගන්න තිබුන සිරියාවතීගෙ හිත නැතිවෙලා ගියා. ඒත් වැඩිකල් නොගිහින්ම දුලීකත් එක්ක ඇදට යන සයිමන් දිහි බලාන හූල්ලන්න සිරියට සිද්ධ වුනා. දුලීකගෙ පුංචි එකා දවසින් දවස ලොකු වෙද්දි සිරියගෙ රස්සාව දුලීකට උරුම වුනා.

එදා මහ වැස්ස. උයන්න මොකවත් අරන් එන්න කඩපළට ගිය සිරියා වැස්සෙ තෙමීගෙන ගෙට ගොඩවුනේ අදත් මොකෙක් හරි සුද්දෙක් කාමරේට රිංගලා ඇති කියන සැකෙත් එක්කමයි. ඒත්…. ලේ විලක් මැද වැටිල හිටිය සයිමන් දැකපු සිරියට ඒ ළගම මන්න පිහියත් අල්ලගෙන උන්නු දුලීකව පේනවා යාන්තමට වගේ මතකයි. සිරියාවතීට සිහිය එද්දි සිරියාවතී උන්නෙ මහ ඉස්පිරිතාලෙ. “තමුන්ගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා, අම්මල දුවල එකතු වෙලා මෙතන අසික්කිත වැඩ කරනව මදිවට දැන් මිනී මරන්නත් පටන් අරන්ද?”. ඉස්පිරිතාලෙන් ගෙදර එනව වෙනුවට කෙලින්ම පොලීසියට ගිය සිරියාවතීට දුලීකව දැකපු ගමන් පපුව හෝස් ගාල පත්තු වුනා. ” ඒ තිරිසනා මද්දු‍ට කරදර කරන්න හැදුව අම්මේ. මම ඒකව මැරුවා”.

හෙට උදේම දුලීකාව උසාවි දානව. පොලීසියෙන් එළියට බැහැපු සිරියාවතී ගෙදරට යන්න බස් එකක් ගන්න බස් ස්ටෑන්ඩ් එකට ගියා. ලස්සනට ඇද පැලදගත්තු නෝනලා කට්ටියක් බස් නැවතුම පුරාම ඉන්න කාන්තාවන් එක්ක කතා කරනවා.

“එක්ස්කියුස්මී ආන්ටී… අපි කාන්තා සංවිධානෙකින්. ආන්ටිලා වගේ කට්ටියට ගෙවල් වල තියෙන කරදර ගැන රිසච් එකක් කරනවා. ආන්ටි මැරි කරලද? ආන්ටිගෙ හස්බන්ඩ් ඩ්‍රින්ක්ස් ගන්නවද? එයා ඔයාට ගහනවද? හෙට උදේ නැෂනල් ටීවි එකේ අපේ වැඩසටහනක් යනවා. ආන්ටිත් බලන්න ඕනේ. අපි ආන්ටිලා වෙනුවෙන් හඩක් නගනවා.”

එක දිගට කියවගෙන ගියපු නෝනා ළගට ආව තව නෝන කෙනෙක්

“ෂැල් වී ගෝ ෂානි… ඉට්ස් ටූ හොට් අනේ. වට් ඩස් ෂි ටෙල්”.

” නතින් මෙන්. ෂි ඩසන්ට් වොන්ට් ද ෆ්‍රීඩම්. ලෙට්ස් ගෝ ඇන්ඩ් හැව් අ කොෆී. ඉස් කමල් කමින් ටුඩේ?”.

“නෑ අනේ, මම ඒක නැවැත්තුවා. එයා හරිම ට්‍රැඩිෂලන්.”

මොකුත්ම නොතේරුන සිරියාවතී නෝනලා දෙන්න යන දිහා බලාගෙන හිටියා.