You are browsing the archive for Sinhala.

Avatar of iilanka

by iilanka

සරසවි නිර්මාණ සම්මාන උළෙල

April 30, 2012 in Sinhala, Sinhalen

ලීල් ආනන්ද ගජනායක ප්‍රමුඛ සරසවි නිර්මාණ පීඨය මගින් වේදිකා නාට්‍ය කලාවේ නියැලෙන අංකුර කලාකරුවන් දිරි ගැන්වීම සහ ප්‍රවීණයන්ටප්‍රසාද ප්‍රණාම පිදීමේ අරමුණින් පවත්වනු ලබන සරසවි නිර්මාණ සම්මාන ප්‍රදාන උළෙල විසි අට වැනිවරටත් පසුගියදා කොළඹ ජෝන් ද සිල්වාසමරු රඟහලේදී පැවැත්විණ. සිත්සෙත් කලා සංගමයේ සභාපති ඊ. ඩී. ශ්‍රියාපාලගේ මාධ්‍ය සම්බන්ධීකරණ දායකත්යයෙන් පැවැත්වූ මෙහි සමාමාන ලාභී නාම ලේඛණය මෙසේය

 

හොඳම නිෂ්පාදනය සඳහා වූ සම්මාන කස කෙල්ල වෙනුවෙන් සමීර නිශ්ශංක විසින්ද ලයිට් හවුස් පොඩ්ඩෝ වෙනුවෙන් ජනක උදාර පාරිස් විසින්ද තු මං හන්දියවෙනුවෙන් එච්. පී. එරන්ද විසින්ද හිමිකරගන්නා ලදී. හොඳම නළුවා ලෙසින් සම්මානය දිනාගත්තේ ලයිට් හවුස් පොඩ්ඩෝ  හි රංගනය වෙනුවෙන් සුජිත් මදුරාවෙල විසිනි. සොයා ගන්නම වෙනවා හි රංගනය වෙනුවෙන් ඕෂධී සේනානායක හොඳම නිළිය ලෙසින් සම්මාන දිනාගනිද්දී සහෘදයෝ සහ කස කෙල්ල වෙනුවෙන් ලහිරු විජේසුන්දර සමඟින් යුලාජි සංජානා ප්‍රනාන්දු හොදම සහය නළුවා සහ හොඳම සහය නිළිය සම්මාන හිමිකරගන්නා ලදී.

 

හොඳම රචනය උදෙසා අමිතා රම්බඩිගලගේ විකසිත පෙම සම්මාන දිනාගනිද්දී හොඳම සංගීතය සොයා ගන්නම වෙනවා හි රණවි අතුකෝරල ද හොඳම වේදිකා පසුතල නිර්මාණය ලයිට් හවුස් පොඩ්ඩෝහි  ජනක උදාර පාරිස් ද හොඳම අංග රචනය කස කෙල්ල හි දිලිනි උත්සලා ද හොඳම ඇඳුම් නිර්මාණය කස කෙල්ල හි රිද්මා මදෝරා ප්‍රනාන්දු ද හිමිකරගන්නා ලදී

 

සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මාන හිමිවූයේ බන්දුල විතානගේ,සෝමලතා සුබසිංහ, සේනානායක වේරලියද්ද, රවිබන්දු විද්‍යාපති, මීනා කුමාරි, නදී චන්ද්‍රසේකර යන කලා ශිල්පීන්ටය. විශේෂ දායකත්ව සම්මානය චන්ද්‍රිකා ද සොයිසාට හිමිවද්දී මාධ්‍ය ඇගයීම් සම්මානහිමිවූයේ අර්නස්ට් වඩුගේ, ගාමිණී සුමනසේකර සහ කරුණාරත්න අමරසිංහ යන ශිල්පීන්ටයි.

Avatar of iilanka

by iilanka

ලංකාවේ මුල්ම ලොතරැයි දිනුම

April 24, 2012 in Sinhala, Sinhalen

අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරුවෙකු ලෙසින් සේවය කළ ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු පුරුද්දක් වශයෙන් තේ කෝප්පයක් බොන්නට අසල තිබූ කඩයකට ගොඩවෙන්නෙකි. එවන් එක් දිනෙක එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ.

”දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ.”

ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය….

කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය.

”ශත පනහයි” ඔහු කීවේය.

මසකට රුපියල් සීයක වැටුපට කම්කරුවෙකු ලෙස සේවය කළ කිරිඅප්පුගේ පවුලේ ඔහුට බාල සහෝදර සහෝදරියන් දහ දෙනකු විය. ඔවුන් සියළු දෙනගේම වියහියදම් දැරූ කිරිඅප්පු‍ට මෙම මුදල මහ මෙරක් තරම් විය.

රුපියල් ලක්ෂයේ මුදලකට ආශා කළ කිරිඅප්පු අතේ තිබූ ශත පනහක් දී එක ලොතරැයි පතක් මිලට ගත්තේය.

වර්ෂ 1955 සැප්තැම්බර් මාසයේ සිදුවූ මෙම සිදුවීම ලංකා ඉතිහාසයේ මුල්ම ලොතරැයිපතේ මුල් දිනුම හා සම්බන්ධ වන්නකි.

”ස්වීප් එකේ මුල් තෑග්ග ලැබිල තියෙන්නෙ ගලිගමුවට…” තේ ස්ටෝරුවේ කෙනෙක්ගෙන් ලද පුවතට අනුව පසුදා උදෑසනම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ලොතරැයියේ ජය අංක සොයා බැලූවේය. කිරිඅප්පුට අදහාගත නොහැකි විය. මුල් දිනුම ඔහුටය.

එය ලංකාවේ පළමුවැනි ලොතරැයියේ මුල් දිනුම වූ නිසා එය ඉතිහාසයට එකතු වන අන්දමේ අපූරු ප‍්‍රවෘත්තියකි. මේ ප‍්‍රවෘත්තිය එකල ලංකාදීප පත‍්‍රයේ පළව තිබුණේ කිරි අප්පුගේ පින්තූරයක්ද සමගය. දිනුම් මුදල රුපියල් 97,343.50ක් විය. එදා ලංකාදීපයේ එසේ පළව තිබිණි. එම මුදලින් බිසෝවෙලින් මෙන්ම ලෝල්ලේගොඩෙන්ද ඉඩම් කුඹුරු මිලට ගත් ඔහු ඉන් වැඩිහරියක් ඔහුගේ බාල සහෝදරයන්ට නොමිලයේම ලබා දුන්නේය. ලෝල්ලේගොඩෙන් ඔහු මිලට ගත්තේ අක්කර විස්සක ඉඩමකි. රුපියල් හතළිස් පන්දහසකට ලබාගත් මේ ඉඩමත් කුඹුරු යායත් ඔහු තමා සන්තකයේ තබා ගත්තේය.

ඉනික්බිති හෙම්මාතගම පැත්තේ තරුණියක වූ පුංචිඑතනා මෙනෙවිය සමගින් විවාපත් විය.

අපේ මංගල්ලෙ කෙරුණේ බොහොම ජයට. දවස් හතරක් මඟුල් කෑවා. පහතරට සාරිය ඇඳල වේල් එක දාලයි මම මනමාලිට ඇන්දෙ. අපේ මඟුල් ගෙදර ලස්සන බලන්න මුළු ගමම වටවෙලා හිටියා. එහෙම මඟුලක් උපන්තේකට ඒ කට්ටිය දැකල තිබුණෙ නැහැ.”

කිරිඅප්පුගේ දුවා දරුවන්ද හොඳට ඉගෙන ගත්හ. ඔහුගේ වැඩිමල් දියණිය අදටත් මහනුවර ප‍්‍රදේශයේ රජයේ රැකියාවක් කරයි. බාල දියණිය පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කළත් භීෂණ සමයේ තිබූ වැඩ තර්ජන හේතුවෙන් ඇය රැකියාවෙන් ඉවත්වූවාය. ස්වීප් මුදලාලිගේ පුතා අද ජීවතුන් අතර නැත.

ස්වීප් මුදලාලි මියගියේ 1973.04.29දාය. මියයන විට වසර 72ක් ගතකර තිබූ ඔහු මියගියේ අංශභාග රෝගය වැළඳීමෙනි. ඔහුගේ දේහය පවුලේ සුසාන භූමියේදීම මිහිදන් කළේ ස්වීප් වත්ත ස්වීප් මුදලාලිගේම බව පසක් කරමිනි.

ලංකාවේ පළමුවැනි ලොතරැයිය ආරෝග්‍යශාලා ලොතරැයියයි.1955 සැප්තැම්බර් 15 වෙනිදා කොළඹ නගර ශාලාවේදී දිනුම් අදිනු ලැබූ ආරෝග්‍යශාලා ලොතරැයිය ලංකාවේ පළමුවැනි ලොතරැයියයි. මෙරට ආරෝග්‍යශාලා දියුණු කරන්නට අවශ්‍ය අරමුදල් සොයාගැනීමේ පරමාර්ථය පෙරදැරිව මේ ලොතරැයිය ආරම්භ කර ඇත.

Avatar of iilanka

by iilanka

සිව්හෙළ සූර්ය මංගල්‍යය

April 10, 2012 in Ancient Sri Lanka, Sinhala, Sinhalen

මේ බක් මාසයයි. ලංකාවාසීන් බොහෝ දෙනෙක් ලහි ලහියේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නට සූදානම් වන කාලයයි. බක් මාසයට යෙදෙන මෙම සංස්කෘතික උළෙල බොහෝ ඈත ඉතිහාසයට දිවයන්නකි.

කලියුග වර්ෂ විසිහයදහස් එකසීයේදී රාජ්‍යත්වයට පත් මහා සම්මත මනු ඔහුගේ අගනුවර කරගත්තේ මන්නාරමයි. මහා සම්මත මනු රජුගේ අගනුවර වූ මෙම මන්නාරම් නුවරට හරි ඉහලින් අස්විද නැකතින් සිව්හෙළයට හිරුරැස් වැටෙන අවස්ථාව එවකට සිව්හෙළයේ සූර්ය මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කර ඇත. ශාස්තපති ධනේෂ් කොඩිප්පිලි මහතාගේ හෙළන්කා කෘතියේ සඳහන් කර ඇති ගනනය කිරීම් වලට අනුව
වර්ෂ 2012දී අප සමරනු ලබන්නේ 30212 වන සිව්හෙළ සූර්ය මංගල්‍යයයි.

එවකට හෙළදිව, මුළු ලෝකයේම මධ්‍යය ලෙස සැලකූ අතර අංශක 0 රේඛාව මන්නාරම හරහා වැටී තිබූ ඇත.හෙළ අවුරුදු වග නම් කෘතිය හරහා තව දුරටත් විස්තර දක්වන අරිසෙන් අහුබුදු ශූරීන් පවසා ඇත්තේ ටොලමිගේ සිතියමේ ඇත්තේ මහ සයුර‍ට ගිලී යාමට පෙර වූ ලංකා දේශය බවයි.

මහා වංශයට අනුව මුල් වතාවට වසන්ත සැණකෙළියක් ගැනසඳහන් වන්නේ කි පූ 400 දී පමණ පණ්ඩුකාභය රජු නැකැත් කෙළි ‍දිනෙක නැටුම් ගැයුම් නැරඹූ අයුරු සඳහන් පුවතයි. තවද සීගිරි කැටපත් පවුරේ 64 වැනි ගීයද අවුරුදු උත්සවය ගැන සඳහන් එකකි. බක් මාසයේ නව සඳ බැලීමක් පිළිබඳවද එහි සඳහන් වෙයි.

පසුකාලීනව යටත් විජිත සමයේ මාතර දිසාව භාරව සිටි කැප්ටන් ජෝන් ඩොයිලිගේ සටහනකට අනුව මාර්තු 21 වැනි දිනෙක දෙවුන්දර පිහිටි හිරුගල් දෙවොල ඉහලින් හිරු මුදුන් වීම මුල්කරගෙන සිංහල අවුරුද්ද ඇරඹී ඇත. සෝමසිරි විජයවර්ධන මහතාගේජෝතිෂ්‍ය අත්පොත නම් කෘතියේ සඳහන් පරිදි සූර්ය දේව වන්දනාව කළ හෙළයෝ සූර්ය දෙවියන් පා තබන ස්ථාන යැයි සලකූ ස්ථාන වල දෙවොල ඉදිකර විශාල පාද ලාංඡන පිහිටුවා වන්දනාමාන කර ඇත. එහි සඳහන් පරිදි හෙළයන්ගේ මෙවැනි පුදබිම් දෙකක සමන්තකූටය සහ දෙවුන්දර. එදා හෙළයන්ගේ සූර්ය වන්දනාව අදටද ශීපාදස්ථානයට වන්දනාවේ යන බැතිමතුන් විසින් සිදුකරනු අපට දැකගත හැකිය. තවද දෙවුන්දර මුහුදු තීරයේ ගල්ගණේකන්ද නම් ගලෙන් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ල එදා දෙවුන්දර හිරුගල් දෙවොල යැයි විශ්වාස කළ හැකිය.

Avatar of iilanka

by iilanka

ලෝකාන්තය

March 31, 2012 in Sinhala, Sinhalen, Sri Lanka

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.
මුහුදු මට්ටමින් අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.
වර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.
වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000 ක් පමණ වන මෙහි ඉතා ශීතල දේශගුණයක් පවති. මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.
අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.
ලෝකාන්තයෙන්’ පහළ බැලූවිට පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.
‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.
ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.
ඇතැම් අවස්ථාවල ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයා හරස් මාර්ග ඔස්සේ කිලෝමීටර් හතඅටක් පයින් යා යුතුය. ඝෘජුව කන්ද නැගිය නොහැකි නිසා යායුත්තේ හරස් අතටය. හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ. එබැවින් ‘‘ලෝකාන්තයෙන්’’ වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට ගෙනයා යුතුය.

Avatar of iilanka

by iilanka

සිංහලේ සිංහාසනය

March 29, 2012 in Ancient Sri Lanka, Sinhala, Sinhalen, Sri Lankan History

වර්ෂ 1693 දී මහනුවර අගනුවර කරගත් දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන්රි විසින් පරිත්‍යාග කළ මෙම සිංහාසනය ඕලන්දයන්ගෙන් පරිත්‍යාගයක් වූවද මෙහි දකින්නට ලැබෙන කලා අංග සමකාලින සිංහල කලා ශිල්පීන්ගේ යැයි බොහෝ විචාරකයෝ විශ්වාස කරති.මෙම සිංහාසනය උසින් අඩි පහකි. දිගින් අඩි තුනකි. ලීයෙන් නිමවා රන්තහඩු වලින් වසා රාජ්‍ය පාලකයෙකු හට සුදුසු රාජකීය සාඩම්බර ආටෝපයෙන් විචිත‍්‍ර කැර මැණික් ගල් අල්ලා උත්තම ගණයේ නිර්මාණයක් බවට පත් කර තිබේ. සිංහාසනය මුදුනේ සූර්ය දේව රූපයකි. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්‍ෂවරයකු වූ සිරිමල් ලක්දුසිංහ එය විස්තර කර ඇත්තේ මෙසේය.

‘‘සිංහාසනයේ අත් ඇඳි දෙකෙහි සිංහ රූ යුවලකි. මඳක් ඉවතට හැරී සිටිනා ආකාරයට තනා ඇති මේ අලංකාර හිස් දෙකෙහි ඇස් අඹතෙස්මිණි යැයි සිතිය හැකි දම්පාට ගල් විශේෂයකින් දක්වා ඇත. පසු ඇන්දෙහි පහළින් සූරියකාන්ත මල් මෝස්තරයෙකි. එහි මැද අඹතෙස් වර්ගයේ ලොකු මැණික් ගලකි. දෙපස ලියවැල් මෝස්තර දෙකකි. එහි දැක්වෙන කාන්තා රූප දෙක සිරි සහ සරසවි දෙදෙන මූර්තිමත් කෙරෙතියි සිතිය හැකිය. මේ සියල්ල මැදිවන ලෙස රන්තහඩුවෙහි සවිකරන ලද දියමන්තියෙන් නිමවන ලද ලීස්තරයක් වේ. පසු ඇන්දේ පිටි පැත්තේ මුදුනෙහි නෙරා සිටින සේ කැටයම් කළ තරු පෙළක් මත නැගී ලොකු අඩසඳක් ද ඒ සියල්ලටම පහළින් සූරියකාන්ත මල් පොකුරක්ද නිරූපිතය. සිංහාසන පා පුටුවද අලංකාරයෙන් සිංහාසනයට අඩුවක් නොවන ආකාරයෙන් නිමවන ලද්දෙකි. අඩි දෙකහමාරක් දිග අඩියක් පළල අඟල් දහයක් උස ඇති එය තද රතු පැහැති පට රෙද්දකින් වසා රනින් වැඩ දමා නිමවන ලද්දෙකි. එහි ඉදිරිපස නිල් සහ සුදු පැහැති ගල් දෙවර්ගයකින් ඔබ්බවා කළ මල් මෝස්තර මඟින් අලංකාර වන අතර වටේ පිහිටි ලීස්තර සුදු පැහැති ගල් වර්ගයක් අල්ලා සකස් කොට ඇත.’’මෙරට අවසන් වරට රජකම් කළ නායක්කාර් වාංශික ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු පාවිච්චි කළ මෙම සිංහාසනය ඇතුළු රාජකීය භාණ්ඩ වලට වල්විදුනාවල නළල් පටය සහ මඟුල් කඩුවත් සේසත සහ රන්මිරිවැඩි සඟලද අයත් විය.

මෙම සිංහාසනය රජුගේ ඇමැති මණ්ඩල රැස්වීම් වලදී ද ‘‘මහනඩුව’’ හෙවත් ඉහළ උසාවිය සඳහා ද රජතුමාට ප‍්‍රයෝජන පිණිස තැන්පත් කැර තිබුණේ මහනුවර වත්මන් මඟුල් මඩුවේ බව පසුගිය කාලයේ මඟුල් මඩුව ගොඩනැගිල්ල තහවුරු කිරීමේ සංස්කෘතික ත‍්‍රිකෝණයේ කටයුතුවලදී හෙළිවිය. මෙම සිංහාසනය සහ ඔටුන්න එන්ගලන්ත වින්සර් මාලිගයේ තැන්පත් කරන ලද්දේ මහා බි‍්‍රතාන්‍යයේ 3 ජෝර්ජ් රජු රජකම් කළ අවදියේය. එන්ගලන්තයේ වින්සර් රජමාලිගයේ මේ අවදියේම තවත් සිංහාසනයක් සහ ඔටුන්නක් ද තැන්පත් කැර තිබිණි. එය ඉන්දියාවේ මයිසූර් පෙදෙස් රජ කළ තිප්පුසුල්තාන් වරයාගෙන් ඉංග‍්‍රීසීහූ පැහැර ගත් එකකි. ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලන සමයේ විසූ මහලේකම්වරයෙක් වූ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ටබ් 1913 කිසියම් ප‍්‍රදර්ශනයක පැවැත්වූ දෙසුමක දී මෙම සිංහල සිංහාසනය එන්ගලන්තයේ රජගෙදර තැන්පත් කැර ඇතැයි ලංකාවට පළමුවැනි වරට දැන ගැනීමට හැකි විය. සිංහාසනය සහ ඔටුන්න නැවත ලංකාවට ලැබුණේ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ට්බ් ලංකාවේ ආණ්ඩුකාර පදවියේ වැඩ බලද්දීය. 1934 සැප්තැම්බර් මාසයේ දී අපේ සිංහාසනය සහ ඔටුන්න ලංකාවට ගෙනැවිත් මහනුවර මඟුල් මඩුවේදීම මේ රටට භාරදුන්නේ එකල එන්ගලන්තයේ රජකම් කළ පස්වැනි ජෝර්ජ් රජුගේ අවදියේ ඔහුගේ පුත් කුමරුවකු වූ ග්ලෝස්ටර් හී ආදිපාදවරයාය.

නෝර්වේ රටේ දොන් එම්මෑනුවෙල් රජුහටත් පෘතුගාලයේ විසූ ළමා රජෙකුහටත් ‘‘ගාටර්’’ නමැති බි‍්‍රතාන්‍ය රාජකීය නම්බුනාමය පිරිනමන ලද්දේ අපේ සිංහාසනය වින්සර් මාලිගයේ තැන්පත් කැර තිබූ අවදියේ එකල එංගලන්තයේ රජකම් කළ මහරජු අපේ සිංහාසනයේ අසුන් ගෙන ඉදිද්දීය. මේ නිසා අපේ සිංහල සිංහාසනය ඒ අවදියේ ලෝකය පුරා පතළ වී තිබුණේ. ‘‘ගාටර් සිංහාසනය’’ යන නාමයෙනි.

දැනට ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය වන ඔටුන්න සහ සිංහාසනය දෙවැනි විමලධර්මසූරිය (කි‍්‍ර.ව 1693) ශ්‍රී විජය රාජසිංහ (ක‍්‍රි.ව 1737) කීර්ති ශ්‍රී රාජසිංහ (ක‍්‍රි.ව 1747-1780) ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1798-1815) රජවරු ප‍්‍රයෝජනයට ගෙන ඇති බව වාර්තා වේ. සිංහාසනය සැලසුම් කර ඇත්තේ ප‍්‍රංශයේ ඒ අවදියේ පැවැති රාජකීය ආසනවල මෝස්තර අනුගමනය කිරීමෙන් යැයි ද මූලික ශෛලිය ප‍්‍රංශයේ xiv ලූවී රජු (ක‍්‍රි.ව. 1690-1700) සමයේ ප‍්‍රචලිත ලියකම්වලින් යැයි ද කියනු ලැබේ.

ලංකාදීප ඇසුරෙන්.