You are browsing the archive for Sinhala.

Profile photo of iilanka

by iilanka

රාවණ ර‍‍ජෙකු පමණයි ?

February 19, 2013 in Ancient Sri Lanka, Sinhala, Sinhalen

දසිස් රාවණා හෙවත් හෙළයේ මහා නරනිඳු පිළිබඳව අධ්‍යනය කිරීමට ඉතිහාසාත්මක දත්ත හා සාධක අවම වුවත් ජනශ‍්‍රතිය අධ්‍යනය කිරීම මඟින් බොහෝ තොරතුරු අණාවරනය කරගත හැකිවේ. හෙළ වෙදකම, යන්ත‍්‍රමන්ත‍්‍ර, හෙළ සටන් සහ ජ්‍යොතිෂ්‍යය යන සියළු විද්‍යා පිළිබඳව කෙළ පැමිණි මේ මහා නරනිඳුගේ තොරතුරු අදවන විට ඇතැමුන් විසින් විකෘති කරමින් පැවතීමනම් ඛේදවාචකයකි.

පුලස්ති සාමිවරයා අයත්වන්නේ බ‍්‍රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරටයි. මෙය එවකට වූ එක් ප‍්‍රබල ගුරුකුලයක් ලෙස හඳුනාගත හැක. මේ දරුවන් සත්දෙනා කාර්යයන් ගණනාවකට විශේෂඥතාව දක්වන නිසා එක් ගුරුවරයකුගේ ශිෂ්‍යයන් සත්දෙනා පුතුන් ලෙස සංකේතාත්මකව දක්වා තිබෙනවා ද විය හැකිය. ලෝකය විනාශ වී ගියවිට නැවත සත්ව වර්ග බිහිකරන මත්ස්‍යයා රැකගන්නේද මෙම මානස දරුවන් සත්දෙනා බව පුරාවෘතයන්හි කියැවෙනවා. එය නැවතත් සංකේතවත් කර දක්වන්නේ මිනිසාට අවශ්‍ය සියලූ විද්‍යා හා ශිල්ප කලා මෙම පරපුරින් බිහිකර ඇති බවයි. චරිත පුර්ණකාව නම් පුස්ථකයේ සඳහන් පරිදි රාවණා රජුගේ පුත් උපේන්ද්‍ර මිණිගේ බල ප‍්‍රදේශය ගැන තොරතුරු කිසිවක් දැන ගැනීමට නැහැ. නමුත් උපේන්ද්‍රමිණි ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාශ හා කේවේයාස්ත ගැන තොරතුරු තිබෙනවා. ඔවුන් දෙදෙනාගේම පාලන මධ්‍යස්ථාන ආශි‍්‍රතව ඔසු උයන් දෙකක් තිබුණු බවත් මේ ග‍්‍රන්ථයේ සඳහන් වී ඇත. රවිශෛලාශගේ බල ප‍්‍රදේශය වු රකුන්ගිර නොහොත් රිටිගල ආශි‍්‍රත ප‍්‍රදේශ‍යේ අදටත් ඖෂධ කන්ද නැමති ස්ථානයක් තිබෙනවා.
දෙවැනි පුත‍්‍රයා වු කේවේසස්ථ යාපන අර්ධද්වීපයේ කන්කසන්තුරේ ආශි‍්‍රත මධ්‍යස්ථානයක සිට සිය පාලනය කර ඇති අතර කේවෙසස්ථ මන්ඨක පදියට නමින් වර්ගපුර්ණිකාව එය හඳුන්වා ඇත. උතුරු කොදව්වේ රාවණා රජු විසින් පිහිටවන ලද පදිසර්ගය වන්ඨාල නම් ඔසු වනය ආශ‍්‍රය කරගෙන මෙම රාජධානිය පැවතීම නිසා අගනුවරක් මුල්බැස ගැනීම ඔසු උයනක් මුල්කරගෙන සිදුවීමට තරම් වෛද්‍ය කර්මයන් රාවණා පරපුරට වැදගත් වී ඇති බව නිගමනය කළ හැක. ඔසු උයනක් ආශ‍්‍රය කරගෙන පාලන මධ්‍යස්ථාන හා සාමිවරයකු පාලකයා වශයෙන් වාසය කිරීම 11 වැනි සියවසෙන් පසු දළදා වහන්සේ ආශ‍්‍රය කරගෙන ලංකාවේ රජ මාළිගය හා අගනුවර ස්ථාපිතවීමට සමාන සිදුවීමකි.

හෙළ වෛද්‍ය කර්ම හැමවිටම ජ්‍යෝතිෂය හා බැඳී පැවතුණි. හිරු රැස් වායුගෝලය හරහා ඒමෙන් පෘථිවිය මතුපිටට ඇතිවන බලපෑම, හිරුගේ රැස් අනෙකුත් ග‍්‍රහලෝකවල පතිත වී පෘථිවියට පරාවාර්තනය වීම නිසා ඇතිවන බලපෑම්, හා ඒවා ශාඛවලට හා සතුන්ට බලපාන ආකාරය හා එම ශාඛවල ධාන්‍ය, පලතුරු හා එළවළුද, සතුන්ගේ ක්ෂිරයද මිනිසා ආහාරයට ගත්විට ශරීරයේ ඇතිවන ප‍්‍රතිකි‍්‍රයා දක්වාම විනිවිද දකින්න මේ විද්‍යාවන්ට හැකියාව තිබුණා. මේ සෘජු හිරු කිරණ වගේම පරාවර්තන ග‍්‍රහ කිරණත් මිනිසාට ඇති කරන ශුභ හා අශුභ ගැන සොයා බලා අශුභ තත්ව මගහරවා ගැනීමට ග‍්‍රහ පුජා, බලි පුජා, නැටුම් ගැයුම් (තොවිල්), භේරී වාදන (යක්බෙරය) තුළින් සිදුකෙරුණා. රාවණා රජතුමා නාඩි ශාස්ත‍්‍රයෙන් රෝග මුල්‍ය සෙවීම, ශාඛ වෙදකමින් රෝග සුව කිරීම, කල් තබාගන්නා අර්ක සම්පාදනය, පත්ථ්‍යාපත්ත්‍ය ආහාර මගින් නිරෝගී බල ලබා ගැනීම, වෛද්‍ය ආචාර්ය ධර්ම ආදී අංශයන් හි විශාරදයෙක් බව එතුමා විසින් සම්පාදනය කරන ලද කුමාර තන්ත‍්‍ර, උඞ්සිය තන්ත‍්‍ර, නාඩු ප‍්‍රකාශ, අර්ක ප‍්‍රකාශ, මර්ම විඥානා, විධි වෛද්‍යක ආදී ග‍්‍රන්ථවලින් පැහැදිලියි. නමුත් මේ සියල්ලටම වඩා සුවිශේෂි වන්නේ රස ශාස්ත‍්‍රය නොහොත් රස වෙදකම මගින් කිරීමට පුළුවන් එවායේ න්‍යායන් පමණක් අද අප අතර ශේෂ වී තිබෙනවා.

ආයුර්වේද ඉතිහාසයේ උගන්වන විදිහට රාවණා රජුගේ කාලය වනතුරු රසදිය ප‍්‍රයෝජනයට ගැනුනේ රත්රන් නිපදවීමට පමණයි. කි‍්‍රස්තු පුර්ව 8 වැනි සියවසේ පමණ විසු නාගර්ජුන ආචාර්යන් විසින් හඳුන්වන පරිදි රන් සෑදීම සහ ලෝහවල තත්ත්වය උසස් කිරීමට රසදිය යොදාගැනීම ”ලෝහ වේදය” නම් වෙනවා. මේ ගැන ලියැවුණු සංස්කෘති ග‍්‍රන්ථ රැසක් තිබෙනවා. නමුත් පළමුවැනි වරට හා අංග සම්පුර්ණ වශයෙන් රසදිය මිනිස් ශරීරයට මුසුකර ශරීරය බල ගන්වන හා වයසට යාම වළක්වාලන ”දේහවේදය” කි‍්‍රයාත්මක කර තිබෙන්නේද රාවණා වෛද්‍යතුමා විසිනුයි.කුසට ගත් ආහාරය පළමුවෙන්ම ”රස” බවට පත්වන්නේයැයි ආයුර්වේදය උගන්වනවා. ඉන්පසු රක්ත (ලේ), මාංශ, මේද, ඇට, ඇටමිදුළු පෝෂණය කරමින් අවසානයේ ”ශුක‍්‍ර” නිපදවයි. ”රසදිය” නොහොත් ලෝහ ශරීරයට අවශෝෂණය කරන්නේ එම රස අවස්ථාවේදීයි. රාවණා රජු තමන් දන්නා විද්‍යා ගැන පමණට වඩා ආත්ම විශ්වාසයෙන් යුක්ත වූ බව වාල්මිකී රාමායණයේදී පෙන්නුම් කරනවා. එය උඩඟු අහංකාරකම දක්වා ගමන් කළ බවත් රාමායනය කියවන විට වැටහෙනවා. ඒ වගේම රාවණා රජුගේ නැගණිය වූ ශුපර්ණාකාගේ නාසය සිඳින ලද ලක්ෂ්මණ නිසාත්, 12000ක් රකුස් ජනතාව ඝාතනය කිරීම නිසාත්, රාම කුමරු තමන් ළඟට ගෙන්වා ගැනීමට උපායක් ලෙස රාවණා රජු සීතාව පැහැරගෙන ආ බවත් රාමායනය කියවන විට හැඟී යන තවත් කරුණක්. සීතාට කිසිදා අතවරයක් නොකරන ලද බව ඒත්තුගැන්වීම අවශ්‍ය වන විදිහට රාමායනය රචනා වී ඇති බව පැහැදිලියි. සීතා පැහැරගෙන ආවේ රාමකුමරු ලංකාපුරයට ගෙන්වා දඬුවම් ලබාදීමට බව රාමායනය කියවන විට පැහැදිලි වනවා.

ආයුර්වේද ඉතිහාසයේ දැක්වෙන පරිදි විවිධ විෂයන් 10ක් පිළිබඳ විශේෂඥ දැනුමක් (දශවිධ ඥාන) රාවනා රජුට තිබුණා. එනිසාම ඔහු දසීස් රාවණා යැයි සම්මත වුණා. මෙම වචනය (දසීස්) වරදවා ගෙන ඉන්දියානු කෝවිල්වල හිස් දහසක් හා රකුසු මුහුණු ඇති අත් විස්සක් සහිත සත්වයකු ලෙස රාවණා රජුගේ රූපය නිර්මාණය කර තිබෙනවා. අපේ රටෙත් පුවත්පත්, සඟරාවල හා රූපවාහිනියේ රාවණා රජුට හැඳින්වීම සමඟ ප‍්‍රදර්ශනය කරන්නේ එම බහුභූත රූපයි. එබැවින් හිස් 10ක් හා අත් 20ක් ඇති මනුෂ්‍යයකු ලොව පහළවිය නොහැකි බවට ඇතැම් මහාචාර්යවරු තර්ක ඉදිරිපත් කරමින් රාවණා යනු මිත්‍යාවක් බව ප‍්‍රකාශ කිරීම පුදුමයක් නොවේ. ඒ ඔවුන් රාවණා රජු හැඳිනගත් ආකාරයයි. පාහියන් නැමති සංචාරක චීන භික්ෂුව ලංකාවේ සිට චීනයට ගෙනගිය ”විදුම් පිළිස්සුම්” ප‍්‍රතිකාර ක‍්‍රම ඇතැම් විට රාවණා යුගයේ සිට ආ ප‍්‍රතිකාර විධීන් වන්නට පුළුවන්. දැන් එය ආපසු ”ඇකියුපංචර්” නමින් චීන සළුපිළි වලින් සරසා නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කිරීමටත් යුද්ධයේදී සතුරන් නොමරා හා තුවාල නොකර මෙල්ල කර ගැනීමටත් යන උභය කාර්යයන් සඳහාම නිල ශාස්ත‍්‍රය උපකාරී වනවා. නිර්වින්දන තොරතුරු නිසා ශල්‍යකර්මයන්ද සිදුකෙරුණු බව අනුමාන කරන්න පුළුවන්. මොකද දේශීය වෙදකමට ශල්‍ය වෛද්‍ය කර්මත් ඇතුළත්.

ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යොතිෂ විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බව ලග්ගල ගැමියන්ගෙන් අසා දැනගත් බව පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමා පවසා තිබෙනවා. බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩමකළ සමකාලීන අවධියේ (කි‍්‍ර.පූ. 6 සියවස) මධ්‍යම කඳුකරයේ විශාල ඔසු උයනක් තිබුණා යැයි අනුමාන කරන්න පුළුවන්. පුලින්ද, ව්‍යාධ, සබර, මලක්ක, මනුස්ස, උපචරක, වනචරක යනාදි විවිධ නම්වලින් හැඳින්වුණු ආදිවාසී ජනකොටස් මෙම ඔසු උයනේ සේවය ලබාගන්නට ඇති. සමන් දෙවියන්ගේ අඩවියේදී අතරමං වූ ශ්‍රීපාද වන්දනාකරුවන් පළතුරු බහුල වූ වනාන්තරවල දින දෙක තුන ඇවිද අවසානයේ මාර්ගවලට පැමිණි සැටි විස්තර කරන මහළු උපාසක උපාසිකාවන් අදත් හමුවිය හැකිය. සතුරන් මහනුවර ආක‍්‍රමණය කළොත් නගරය ගිනි තබා කැලෑවැදී ජීවත්වීමට අවශ්‍ය පළතුරු වනාන්තර වවන ලද්දේ සෙනරත් හා දෙවැනි රාජසිංහ යන සෙංකඩගල රජවරුන් විසිනුයි. 1803 දී නෝත් ආණ්ඩුකාරතුමන් මහනුවර ආක‍්‍රමණය කළ විට සතුරා පරාජය කිරීමට මෙම පළතුරු වාන්න්තර උඩරැටියන්ට මහෝපාකාරී වුණා. මේවා සඳහා ආදර්ශය ලබාගන්නා ලද්දේ මහගිර (සමණොළගිර) හා රකුන්ගිර (රිටිගල) වැනි ඔසුඵල වනාන්තරවලින් යැයි අපට අනුමාන කළහැකිය.

පුවත්පතකින් උපුටාගත් තොරතුරු ඇසුරෙනි.

Profile photo of iilanka

by iilanka

වැලිපාක් එක? එල්ලෙන මල් උයද?

February 1, 2013 in Sinhala, Sinhalen

නුගේගොඩ නාවල පාරේ වැලි පිරවූ ලොරි නතර කර තිබූ ”වැලි පාර්ක්” එක එකපාරම වසා දැමුනත් එය එදිනෙදා දකිනවුන් හටනම් අරුමයක් වූයේ නෑ. හිටි හැටියේම එහි දක්නට වූයේ කාර්යක්ෂමව වැඩකටයුතුවල නිරත වන්නා වූ සෙබළ සොයුරන් පිරිසකි. මේ නම් තවත් එක් සුන්දර ගිමන් තොටක් විය යුතුයැයි බොහෝ දෙනා අනුමාන කළේ දියවන්නාව ගිමන් තොට පිළිබඳවද මේ වන විට ඔවුන්ගේ අත්දැකීම් තිබූ නිසාවෙනි. ඔවුන්ගේ අනුමානය සැබෑවක් විය. ඒ මීට හත් අට මසකට පෙර කැළිකසලින් පිරි දුඟඳින් බරවූ ඒ පෙදෙසේ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව සකස් කළ නාගරික තෙත් බිමක අසිරිය දැන් සියල්ලන්ටම විඳිය හැකිය.

සුවිසල් ගොඩනැගිලි, උස් තාප්ප සහ නළා ශබ්දත්, වාහන දුමත් නුගේගොඩ නාගරික පරිසරයේ හුරුපුරුදු ලක්ෂණය. ඒ අසබඩ පිහිටි නාගරික තෙත් බිම් උද්‍යානයට මොහොතකට පිය නඟන්න. ඇහැළ, කරඳ, කොබෝලීල, මූණ මල්, බුරුත, කුඹුක්, දිය නා, ගොඩපර, කරඳ සහ නුග ගස් වලින් හමා එන සුළඟ ඔබව අමුතුම ලොවකට ගෙනයනු ඇත.දම්, ඕවිටිය, හීන් බෝවිටියා, චෙරි වර්ග, ඇඹුල් පේර, නාරං, ගමේ ගොඩේදී මෙන්ම මෙම නාගරික තණ බිමේ ඇවිද යන විටද නෙත ගැටුණහොත් ඔබට කුමක් සිතෙනු ඇත්ද.

අතීත හෙළ රාජධානියේ අභිමානය ලොවට විදහා පෑ පොකුණක ස්වරූපයට ඉදිවුණ නිසංසල පරිසරයේ ශබ්දය බිඳ දමමින් ඇද හැළුණු පොකුණේ සිසිල් දිය දහර ගතට මෙන්ම සිතට ද ඇසිල්ලකින් සුවයක් ගෙනදෙනු නිසැකය. වයස් බේදයකින්, පන්ති බේදයකින්, ජාති, ආගම්, කුල, තරාතිරමක් නොමැතිව නාගරික තෙත් බිම් උද්‍යානයට පා තබන කවුරුත් මෙහි උරුම කරුවන්ද මෙන්ම හිමිකරුවන්ද වෙයි. තෙත් බිම් උද්‍යානයේදී තවත් එක් සුවිශේෂීම කරුණක් නම් ජාතික විදුලිබල පද්ධතියෙන් සීමිත විදුලි උත්පාදනයක් පමණක් ලබා ඉතිරි සියලූ විදුලි උත්පාදන අවශ්‍යතාවන්, සූර්ය බලශක්තිය ප‍්‍රයෝජනයට ගැනීමය. මෙය දියවන්නාව ස්වභා උයන් ව්‍යාපෘතිවේද දැකිය හැකිය. මෙහි ඇති පොකුණට ද සීමිත වතුර ප‍්‍රමාණයක් පමණක් කළමනාකරණය වී ඇති අතර වාෂ්ප වන ජල ප‍්‍රමාණය පමණක් නැවත පිරැවෙන පරිදි එම පද්ධතිය සකස් කර තිබේ.

මෙම උද්‍යානයේ සියලූ ශ‍්‍රමදායකත්වය යුද හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය යන බලකායන්හි නිලධාරීන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් සිදුවීම නිසා ඇස්තමේන්තු ගත වියදමින් සියයට තිහකට වැඩි මුදලක් ඉතිරිකර ගත හැකිව තිබේ. ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතියේ එක් අදියරයක් ලෙසට නුගේගොඩ නගරය තුළ තෙත් බිම් උද්‍යානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූයේ මීට මාස හත අටකට පෙරාතුවය. ආරක්ෂක අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියෙත්, පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙත්, යුද හමුදාවෙත්, නාවික හමුදාවෙත් සහ සිවිල් ආරක්ෂක බලකායෙත් මූලික දායකත්වයෙන් ගොඩනැගුණු මෙම තෙත් බිම් උද්‍යානය, ලංකාව තුළ ඉදිවූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානය ද වෙයි.

අක්කර දහඅටක (18) වපසරියක් පුරා පිහිටා ඇති ඇති නාගරික තෙත් බිම් උද්‍යානය වායු දූෂිත නගරයේදී අපහසුවකින් තොරව පිරිසිදු වාතාශ‍්‍රය ලැබිය හැකි තැනකි. ශාරීරික සුවතාවය වෙනුවෙන් ඇවිදීමට ඇති මං තීරුව උදෑසනටත් සන්ධ්‍යා කාලයටත් අතිශයින් කාර්ය බහුලය. හිස් මුඩු බිමක් ජාත්‍යන්තර මට්ටමේ උද්‍යානයක් ලෙස ගොඩනැගීමේ භාරධූර කාර්යය ඉටුව ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිභාර ගෘහ නිර්මාණ ශිල්පී වරලත් වාස්තු විද්‍යාඥ, වරලත් භූ දර්ශන හා ගෘහ නිර්මාණ ශිල්පිනි එම්.ජී. තුෂාරි කාරියවසම් අතිනි.මෙම, නාගරික තෙත්බිම් උද්‍යානය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් 2013 ජනවාරි මස 12 වැනි දින මහජන අයිතියට පත්විය.

Profile photo of iilanka

by iilanka

ආඬිගල රජමහා විහාරය

January 19, 2013 in Ancient Sri Lanka, Sinhala, Sinhalen

ගමයි – පන්සලයි – වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට හිමිකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.

මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට හිමිකම් කියන විහාරයක් හැටියට හඳුනා ගත හැකිය. මෙහි වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ.

ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙන පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය.

ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්, මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ.

විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව මතයක් පවතී. මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය.

රාජාංගනය ව්‍යාපාරය අවට පිහිටි ප්‍රෞඨ ඉතිහාසයකට නෑකම් කියන ආඬිගල රාජමහා විහාරය 1969 වසරේදී පහළගම ගුණරත්න නාහිමියන් විසින් සොයාගනු ලැබ මෑත කාලීන විහාර දියුණුවට කටයුතු සම්පාදනය කරන ලදහ. දැනට විහාරයේ ක‍්‍රියාකාරී සංවර්ධන කටයුතු කැටකාලේ උපරතන හිමිගේ අනුශාසනා පරිදි සිදුවේ.

තොරතුරු පුවත්පත් ඇසුරෙන්

Profile photo of iilanka

by iilanka

ගින්නෙන් දැවුනු අපේ උරුමයක්

December 17, 2012 in Sinhala, Sinhalen

ගිනිවැල්ලේ රන්වැල්ල පුරාණ විහාරස්ථානයේ ඇති වූ මහා ගින්න ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමූවද මේ ගින්න තවත් එක් ගින්නක් නොවේ. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සිංහල පුවත්පත මුද්‍රණය කළායැයි කියන පැරණිතම මුද්‍රණ යන්ත‍්‍රයක් හෙවත් තවත් ජාතියේ අද්විතීය උරුමයක් විනාශ කැර දැමීමට සමත්වූ ගින්නකි.

ගින්න ඇතිවූයේ විහාරස්ථාන ගොඩනැගිල්ලේ සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් යැයි දැනට විශ්වාස කරයි. ඒ සඳහා රස පරීක්ෂණ ද පැවැත්වී තිබේ. දැන් සියල්ල සිදුවී හමාරය. ශී‍්‍ර ලංකාවේ මුද්‍රණ ඉතිහාසයේ අද්විතීය යන්ත‍්‍රය විනාශ වී ඇත.

ශී‍්‍ර ලංකාවේ මුල්ම සිංහල පුවත්පත ලෙස ඉතිහාසගතවී තිබෙන ‘‘ ලංකාලෝක ’’ පුවත්පත මුද්‍රණය කරන ලද්දේ මෙම මුද්‍රණ යන්ත‍්‍රය භාවිතා කරමින් බව පැවසේ. එහෙත් එය ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි පුවත්පතක් නොවේ. මේ නිසාම ඇතැම් පිරිස් ‘‘ ලංකාලෝක ’’ පුවත්පත මෙරට මුල්ම සිංහල පුවත්පත ලෙස පිළිගැනීමට මැලිකමක් දක්වති.

1860 දී ගාල්ලේ කොටුවේ පල්ලිය වීදියේ අංක 02 දරණ ලිපිනයේ පිහිටි මුද්‍රණාලයක ‘‘ලංකාලෝක ’’ පුවත්පත මුද්‍රණය කළ බවත් එම මුද්‍රණාලයේ අයිතිකරු වූයේ ඞී.ඩබ්ලිව්.කේ.ජයවර්ධන මුදලිතුමා බවත් ඉතිහාසයේ සඳහන්වේ. මාසයකට දෙවරක් නිකුත්කළ මෙම පුවත්පතේ පළමු වෙළුමේ නවවැනි පත‍්‍රයේ පිටපත් ගාල්ල කුමාරකන්දේ පිහිටි කුමාර මහා විහාරයේ තිබී සොයා ගෙන තිබේ. එය 1860 නොවැම්බර් මස 20 වැනි දින නිකුත් කරන ලද්දකි.

‘‘ලංකාලෝකය’’ යනුවෙන් විශාල ඉංගී‍්‍රසි අකුරින් ද කුඩාවට සිංහල අකුරින් ද සටහන් කැර ඇති මෙම පත‍්‍රයේ පිටු සංඛ්‍යාව හතරකි. දැන්වීම් සඳහා වැඩි ඉඩක් වෙන්කැර ඇති මෙහි මුල් පිටුවේ ‘‘ කොළඹ කඬේ ’’ යනුවෙන් ආහාර මිල ගණන් දක්වා තිබීමත් විශේෂත්වයකි. පුවත් පතක මිල පැන්ස හයකි.එය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ලියාපදිංචි පුවත්පත වූ ‘‘ලක්මිණිපහණ ’’ මුද්‍රණය ආරම්භ කළ 1862 සැප්තැම්බර් මස 11 වැනි දිනට පෙර මුද්‍රණය වූවක් බව පැහැදිලිය. එසේනම් ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි නොවූව ද මුල්ම පුවත්පත වන්නේ ‘‘ලංකාලෝකය’’ යැයි අපට නිගමනය කළ හැක.

‘‘ලක්මිණිපහණ ’’ බිහිකළේ ද සල්පිටි කෝරළයේ මුදලි ධූරය දැරූ ගාල්ලේ ජේ.ඒ.පී.ඩබ්ලිව්.ගුණතිලක අතපත්තු මහතාගේ මූළිකත්වයෙනි. රත්මලානේ වැඩවිසූ වලානේ ශී‍්‍ර සිද්ධාර්ථ හිමියන් හා දොන් අන්ද්‍රියස් ද සිල්වා, ශී‍්‍ර දේවරක්ෂිත බටුවන්තුඩාවේ පඩිතුමන් ද මේ හා සම්බන්ධ වූහ. පුවත්පතේ ආරම්භක කතුවරුන් වූයේ කොග්ගල ධර්මරත්න ප`ඩිතුමා සහ ජොහැන්නස් පණ්ඩිතතිලක යන දෙදෙනාය. මේ බොහෝ දෙනකු ගාල්ලට සම්බන්ධ බැවින් ‘‘ ලක්මිණිපහණ ’’ මුද්‍රණය කළේ ද ‘‘ ලංකාලෝකය ’’ මුද්‍රණය කළ මෙම යන්ත‍්‍රයේම බවට මතයක් පවතී. නමුත් එය තවමත් තහවුරු කර නැත.

බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරනු ලදුව බුරුමයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී ඇති මුද්‍රණ යන්ත‍්‍රය ගාල්ලේ පෙට්ටිගලවත්තේ මුද්‍රණාලයක තිබුණු බවත් එම මුද්‍රණාලයේදී මෙරට ප‍්‍රථම මුද්‍රිත සිංහල සගරාව වූ ‘‘යතලබ’’ සගරාව මුද්‍රණය කරන ලද්දේ ද මෙම යන්ත‍්‍රයෙන් බවත් පැවසේ. ඉන් අනතුරුව ගාලූ කොටුවේ පිහිටි ලංකාලෝකය මුද්‍රණාලයට ගෙන ගෙනගොස් තිබී අදින් වසර 100 ට පමණ ආසන්න කාලයකදී කතඑව ගිනිවැල්ලේ පිහිටි රන්වැල්ල විහාරස්ථානයට ගෙනවිත් එහි තැන්පත් කැර තිබේ.

මෙම යන්ත‍්‍රයේ ජාතික වශයෙන් ඇති වැදගත්කම වටහාගත් කෞතකාගාර දෙපාර්තමේන්තුව එය කිහිප අවස්ථාවකදී කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා ඉල්ලා ඇතත් විහාරස්ථ භික්ෂූන් වහන්සේලා සහ දායක සභාව එය ලබාදීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කර ඇතිබව සඳහන් වේ.

නමුත් ජාතික වශයෙන් වැදගත්කමක් ඇති මෙම පැරණි මුද්‍රණ යන්ත‍්‍රය යළිත් සකස් කොට එය මහජනතාවට දැකගැනීමේ පහසුව සඳහා ජාතික වස්තුවක් ලෙස කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම වඩාත් සුදුසුයැයි යන්න බහුතරයකගේ මතය වී තිබේ.

Profile photo of iilanka

by iilanka

ඉදිබුවන් රැකගනිමු

December 14, 2012 in Sinhala

මෙරට සිටින සතුන් අතරෙන් වඳවී යාමේ දැඩි අවදානමකට ලක්වූ ඉබ්බන් විශේෂ තුනක් මෙරට වැව් අමුණු තුල බෝ කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී.රත්නායක මහතාගේ මූලිකත්වයෙන් නව වැඩපිලිවලක් සැකසෙමින් පවතින බව පුවත්පත් වාර්තා කරයි.

ගල් ඉබ්බා ,කිරි ඉබ්බා හාතාරකා ඉබ්බා යන ඉබි වර්ග තුන වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින බව එතුමා මූලිකත්වය දරන පරිසර සංරක්ෂණ භාරය පෙන්වා දෙයි. 2007 ස්වභාව ධර්මය සුරැකීමේ අන්තර්ජාතික සංගමයේ රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ වෙසෙන ඉබ්බන් අතරින් තරු ඉබ්බා හා කිරි ඉබ්බා වඳවීයාමේ අවදානමට මුහුණ පා ඇති සතුන් ලෙස ද ගල් ඉබ්බා ආසන්න තර්ජිත විශේෂයක් ලෙස ද දක්වා ඇති අතර 1970 දශකයේ අග භාගයේ සිට 80 දශකයේ මැද භාගය දක්වා කාලයේ ගල් ඉබ්බා හා කිරි ඉබ්බා මෙරට තුළ සුලභව වාර්ථාවී ඇත. මොවුන් ඇළ දොල හා වැව්වල පමණක් නොව විශාල ගල් වළවල් හි ද ජීවත්ව ඇත. එහෙත් අද වනවිට මස් පිණිස මරා දැමීම නිසා මෙම සතුන් දුර්ලභ විශේෂ බවට පත්ව ඇති බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

පරිසර සංරක්ෂණ භාරය පෙන්වා දෙන ආකාරයට ඉබ්බන් වඳවී යාමට ප‍්‍රධාන කාරණා කිහිපයක් බලපා තිබේ. එහි අධ්‍යක්ෂ සජීව චාමීකර මහතා පවසන්නේ මෙම ඉබ්බන් විශේෂ මස් වැද්දන්ගේ ගොදුරු බවට පත්වීම ඒ අතරින් ප‍්‍රධාන බවයි. එසේම තරු ඉබ්බා හා ගල් ඉබ්බා වර්තමානයේ ගෘහාශ‍්‍රිතව ඇති කිරීම සඳහා අල්ලාගෙන යාම ද ඔවුන්ගේ බෝවීමට තර්ජනයක් බව චාමීකර මහතා පවසයි. සීඝ‍්‍ර නාගරීකරණයේ හා කාර්මිකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන ජලදූෂණයෙන් ජලජ ජීවීන්ගේ විවිධත්වය අඩුවීමෙන් ආහාර ප‍්‍රභවයන් සීමා වීමෙන් ද ගල් ඉබ්බන් හා කිරි ඉබ්බන් ගහනය සීඝ‍්‍රයෙන් අඩුවෙන බවයි. එසේම මාර්ග අනතුරු නිසා ගල් ඉබ්බන් හා තරු ඉබ්බන් මිය යාම ද මෙම තත්ත්වයට තවත් හේතුවක් බව ද මෙම සතුන්ගේ වාස භූමි දෙකඩවන අයුරින් මාර්ග ඉදිකිරීම මීට ප‍්‍රධාන හේතුව වී ඇති බව චාමීකර මහතා පෙන්වා දෙයි. වාසස්ථාන විනාශවීම හා වෙන්වීම, තෙත්බිම් ගොඩ කිරීම, වනාන්තර හෙළි කිරීම යනාදී තවත් කාරණා රැුසක් ද මෙම සතුන් වඳවීයාම වේගවත්වීමට හේතුවී ඇත.

උරගයින් සම්බන්ධව පැවැත්වෙන ලෝක සමුළුවත් ලබන වසරේදී අපේ රටේදී පැවැත්වීටත් නියමිතයි. ඒ අතරතුර නිතිවිරෝධි අයුරින් ඉබ්බන් අල්ලන පුද්ගයන් හා එම සතුන්ට හානි පමුණුවන්නන් අත්අඩංගුවට ගැනීම සදහා කරන වැටලීම් මහජන සහයෝගයද සමඟින් සිදුකිරීමට නියමිතව ඇත.

වර්ෂ2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ දැඩි ආරක්ෂිත සතුන් ලෙස මෙම ඉබ්බන් විශේෂ තුනට ආරක්ෂාව සලසා තිබේ. එම පනතේ 30(1) වගන්තිවලට අනුව මෙම සතුන් මැරීම, තුවාල කිරීම, හෝ හානි කිරීම, අල්ලා ගැනීම, බිත්තර විනාශ කිරීම, මරණ ලද හෝ අල්ලා ගන්නා ලද සතකු ළග තබා ගැනීම, සහ සතකු හෝ කොටසක් ළග තබා ගැනීම හෝ විකිණීම හෝ ඒ සදහා ප‍්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

පනතේ 30(2) වගන්තියට අනුව එසේ වරදකරුවකු වන අයෙකුට රුපියල් තිස් දහසේ සිට ලක්ෂය දක්වා දඩයක් හෝ වසර 2 සිට 5 දක්වා සිරදඬුවම් හෝ මේ දෙකම හෝ ලබා දිය හැකිය.

මසට ඉබ්බන් මැරීම, නිවාස වල ඇති කිරීමට ඉබ්බන් අල්ලීම හෝ එම සතුන්ට හානි වන ආකාරයෙන් කටයුතු කරන අය වෙතොත් ඒ ගැන දවසේ පැය 24 පුරාම ක‍්‍රියාත්මක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 011-2888585 ට වහාම දැනුම් දෙන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී.රත්නායක මහතා පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකකට එක්වෙමින් මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත. වඳවී යන සත්ව කොට්ඨාශ මෙලොව තවදුරටත් ජීවත් කරවීමේ වගකීමක් ඔබ අප සතුවද ඇතිවග කාරුණිකව සලකන්න.

පුවත්පත් ඇසුරෙන්