සිංහලේ සිංහාසනය
March 29, 2012 in Ancient Sri Lanka, Sinhala, Sinhalen, Sri Lankan History
වර්ෂ 1693 දී මහනුවර අගනුවර කරගත් දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ඕලන්ද ආණ්ඩුකාරවරයෙකු වූ තෝමස් වෑන්රි විසින් පරිත්‍යාග කළ මෙම සිංහාසනය ඕලන්දයන්ගෙන් පරිත්‍යාගයක් වූවද මෙහි දකින්නට ලැබෙන කලා අංග සමකාලින සිංහල කලා ශිල්පීන්ගේ යැයි බොහෝ විචාරකයෝ විශ්වාස කරති.මෙම සිංහාසනය උසින් අඩි පහකි. දිගින් අඩි තුනකි. ලීයෙන් නිමවා රන්තහඩු වලින් වසා රාජ්‍ය පාලකයෙකු හට සුදුසු රාජකීය සාඩම්බර ආටෝපයෙන් විචිත්‍ර කැර මැණික් ගල් අල්ලා උත්තම ගණයේ නිර්මාණයක් බවට පත් කර තිබේ. සිංහාසනය මුදුනේ සූර්ය දේව රූපයකි. ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්යක්ෂවරයකු වූ සිරිමල් ලක්දුසිංහ එය විස්තර කර ඇත්තේ මෙසේය.
‘‘සිංහාසනයේ අත් ඇඳි දෙකෙහි සිංහ රූ යුවලකි. මඳක් ඉවතට හැරී සිටිනා ආකාරයට තනා ඇති මේ අලංකාර හිස් දෙකෙහි ඇස් අඹතෙස්මිණි යැයි සිතිය හැකි දම්පාට ගල් විශේෂයකින් දක්වා ඇත. පසු ඇන්දෙහි පහළින් සූරියකාන්ත මල් මෝස්තරයෙකි. එහි මැද අඹතෙස් වර්ගයේ ලොකු මැණික් ගලකි. දෙපස ලියවැල් මෝස්තර දෙකකි. එහි දැක්වෙන කාන්තා රූප දෙක සිරි සහ සරසවි දෙදෙන මූර්තිමත් කෙරෙතියි සිතිය හැකිය. මේ සියල්ල මැදිවන ලෙස රන්තහඩුවෙහි සවිකරන ලද දියමන්තියෙන් නිමවන ලද ලීස්තරයක් වේ. පසු ඇන්දේ පිටි පැත්තේ මුදුනෙහි නෙරා සිටින සේ කැටයම් කළ තරු පෙළක් මත නැගී ලොකු අඩසඳක් ද ඒ සියල්ලටම පහළින් සූරියකාන්ත මල් පොකුරක්ද නිරූපිතය. සිංහාසන පා පුටුවද අලංකාරයෙන් සිංහාසනයට අඩුවක් නොවන ආකාරයෙන් නිමවන ලද්දෙකි. අඩි දෙකහමාරක් දිග අඩියක් පළල අඟල් දහයක් උස ඇති එය තද රතු පැහැති පට රෙද්දකින් වසා රනින් වැඩ දමා නිමවන ලද්දෙකි. එහි ඉදිරිපස නිල් සහ සුදු පැහැති ගල් දෙවර්ගයකින් ඔබ්බවා කළ මල් මෝස්තර මඟින් අලංකාර වන අතර වටේ පිහිටි ලීස්තර සුදු පැහැති ගල් වර්ගයක් අල්ලා සකස් කොට ඇත.’’මෙරට අවසන් වරට රජකම් කළ නායක්කාර් වාංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවිච්චි කළ මෙම සිංහාසනය ඇතුළු රාජකීය භාණ්ඩ වලට වල්විදුනාවල නළල් පටය සහ මඟුල් කඩුවත් සේසත සහ රන්මිරිවැඩි සඟලද අයත් විය.
මෙම සිංහාසනය රජුගේ ඇමැති මණ්ඩල රැස්වීම් වලදී ද ‘‘මහනඩුව’’ හෙවත් ඉහළ උසාවිය සඳහා ද රජතුමාට ප්‍රයෝජන පිණිස තැන්පත් කැර තිබුණේ මහනුවර වත්මන් මඟුල් මඩුවේ බව පසුගිය කාලයේ මඟුල් මඩුව ගොඩනැගිල්ල තහවුරු කිරීමේ සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතුවලදී හෙළිවිය. මෙම සිංහාසනය සහ ඔටුන්න එන්ගලන්ත වින්සර් මාලිගයේ තැන්පත් කරන ලද්දේ මහා බි්රතාන්යයේ 3 ජෝර්ජ් රජු රජකම් කළ අවදියේය. එන්ගලන්තයේ වින්සර් රජමාලිගයේ මේ අවදියේම තවත් සිංහාසනයක් සහ ඔටුන්නක් ද තැන්පත් කැර තිබිණි. එය ඉන්දියාවේ මයිසූර් පෙදෙස් රජ කළ තිප්පුසුල්තාන් වරයාගෙන් ඉංග්රීසීහූ පැහැර ගත් එකකි. ලංකාවේ බි්රතාන්ය පාලන සමයේ විසූ මහලේකම්වරයෙක් වූ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ටබ් 1913 කිසියම් ප්‍රදර්ශනයක පැවැත්වූ දෙසුමක දී මෙම සිංහල සිංහාසනය එන්ගලන්තයේ රජගෙදර තැන්පත් කැර ඇතැයි ලංකාවට පළමුවැනි වරට දැන ගැනීමට හැකි විය. සිංහාසනය සහ ඔටුන්න නැවත ලංකාවට ලැබුණේ ශ්‍රීමත් එඞ්වර්ඞ් ස්ට්බ් ලංකාවේ ආණ්ඩුකාර පදවියේ වැඩ බලද්දීය. 1934 සැප්තැම්බර් මාසයේ දී අපේ සිංහාසනය සහ ඔටුන්න ලංකාවට ගෙනැවිත් මහනුවර මඟුල් මඩුවේදීම මේ රටට භාරදුන්නේ එකල එන්ගලන්තයේ රජකම් කළ පස්වැනි ජෝර්ජ් රජුගේ අවදියේ ඔහුගේ පුත් කුමරුවකු වූ ග්ලෝස්ටර් හී ආදිපාදවරයාය.
නෝර්වේ රටේ දොන් එම්මෑනුවෙල් රජුහටත් පෘතුගාලයේ විසූ ළමා රජෙකුහටත් ‘‘ගාටර්’’ නමැති බි්රතාන්ය රාජකීය නම්බුනාමය පිරිනමන ලද්දේ අපේ සිංහාසනය වින්සර් මාලිගයේ තැන්පත් කැර තිබූ අවදියේ එකල එංගලන්තයේ රජකම් කළ මහරජු අපේ සිංහාසනයේ අසුන් ගෙන ඉදිද්දීය. මේ නිසා අපේ සිංහල සිංහාසනය ඒ අවදියේ ලෝකය පුරා පතළ වී තිබුණේ. ‘‘ගාටර් සිංහාසනය’’ යන නාමයෙනි.
දැනට ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන ඔටුන්න සහ සිංහාසනය දෙවැනි විමලධර්මසූරිය (කි‍්‍ර.ව 1693) ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි.ව 1737) කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747-1780) ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798-1815) රජවරු ප්‍රයෝජනයට ගෙන ඇති බව වාර්තා වේ. සිංහාසනය සැලසුම් කර ඇත්තේ ප්‍රංශයේ ඒ අවදියේ පැවැති රාජකීය ආසනවල මෝස්තර අනුගමනය කිරීමෙන් යැයි ද මූලික ශෛලිය ප්‍රංශයේ xiv ලූවී රජු (ක්‍රි.ව. 1690-1700) සමයේ ප්‍රචලිත ලියකම්වලින් යැයි ද කියනු ලැබේ.
ලංකාදීප ඇසුරෙන්.
