Interview With Isuru Weerasinghe
October 24, 2011 in Sinhala, Sri Lankan Movies
පසුගිය දිනෙක එක්තරා සිනමා කෘතියක මාධ්‍ය දර්ශණය පැවැත්වූවා. එයට සහභාගී වූ විවිධ මට්ටමේ අය කාගේත් පැසසුමට ලක්වූ මෙම සිනමා සිත්තම තරුණ සිනමා අධ්‍යක්ෂක වරයෙකු වන ඉසුරු වීරසිංහ අතින් නිමැවෙන Colour චිතපටයයි. පවතින කාර්යබහුල තත්වය තුළදී වුවත් සිය වටිනා කාලයෙන් මොහොතක් අපගේ රසික රසිකාවියන් වෙනුවෙන් කැපකරන්නට ඉසුරු තුල තිබූ නිහතමානීත්වයට අපි අපේ රසික රසිකාවියන් වෙනුවෙන් අගය කරන්නෙමු.
ඉසුරු, මම ඔබව හඳුන්වාදෙන්න ඕනෙ කොයි විදිහටද?
ඇත්තෙන්ම මම කලාකරුවෙක්, එහෙමත් නැත්නම් නිර්මාණ කරුවෙක්. හැබැයි දෙයක් කියන්න ඕනේ. සෑම මිනිසෙක් තුළම නිර්මාණකරුවෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් සෑම මිනිසෙක්ම නිර්මාණකරුවෙක්. ඔවුන් සිය නිර්මාණ එළිදන්වන්න විවිධ මාධ්‍යය භාවිතා කරනවා. මම මගේ මාධ්‍ය විදිහට තෝරගත්තේ චිතපටිය. එහෙමත් නැත්නම් සිනමාව.
ඒ කියන්නේ ඔබ හිතේ තියෙන දේ සිනමාව තුලින් එළිදක්වනවාද?
නෑ, මම අදහස් කරන්නෙ ඒකම නෙවෙයි. දැන් බලන්න, වෙරළක ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්න අපිට විවිධ සිතුවිලි පහලවෙනවා. ඒවා හුදෙක්ම අමු හැඟීම්. මට හිතෙන දේ නෙවෙයි වෙන්න පුළුවන් තව කෙනෙකුට හිතෙන්නේ. හැබැයි මට අවශ්‍යයි මට දැනුන දේ අනික් අයට ඒ විදිහට දැනෙන්න
සලස්වන්න.
ඔබේ නිර්මාණ හරහා ඔබ පණිවිඩයක්ද ගෙන එන්නේ?
නෑ, කොහෙත්ම නෑ. වතුර උණුකරල නිව්වෙ නැත්තම් පාචනය හැදෙනව, වගේ පණිවිඩයක් චිතපටය අවසානයේදී දෙන්න උවමනාවක් මට නෑ. මම කලිනුත්
කිව්ව වගේ මට අවශ්‍ය මට දැණුන දේ මගේ රසිකයන්ටත් දැනෙන්න සැලැස්වීම. මගේ හැඟීම සිනමාගත කිරීම.
ඉසුරු, ඔබ සිනමාව ඉගෙනගත්තෙ කොහෙන්ද? නැත්නම් ඔබේ ගුරුවරයා කවුද?
මට ගුරුවරු නෑ. මගේ අදහසනම් මේ දේවල් හදාරලා ඉගෙනගන්න පුළුවන්.
මොකක්ද ඔබ එයින් අදහස් කරන්නේ?
අද අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ පැරණි ශිල්පියෙකුගෙ හරි ශිල්පීන්ගෙ හරි රාමුවක් ඇතුළත නිර්මාණකරණයේ යෙදෙන්න. මට අවශ්‍ය නෑ ඒ
විදිහට ෆෝමැට් එකක ඇතුලෙ වැඩ කරන්න. හැදෑරීම් අවශ්‍යයයි. නමුත් මගේ අදහසනම් පසුපස යාම අනවශ්‍යයි. මට ගුරුවරයෙක් නැත්තේ
ඔන්න ඔය කියන කාරණාව නිසයි.
ඉසුරු මේ ක්ෂේතයට එන්නෙ කොයි කාලෙද?
මම ක්ෂේතයට පිවිසෙන්නේ 2001 වසරේ උසස් පෙළ අවසන් වීමත් සමඟම වගේ. එකවර මට රැකියා දෙකක් ලැබෙනවා. එකක් වෙළඳ දැන්වීම් ක්ෂේතයේ, අනික
රජයේ ලිපිකරු පත්වීමක්. ඇත්තටම ගෙදරින් දැඩි විරෝධයක් එල්ල වෙද්දීම මම වෙළඳ දැන්වීම් ක්ෂේතයට එක්වෙනවා. මම මුල් යුගයේ කෙටි චිතපට මගේ
මාධ්‍යය කරගන්න උත්සහ කළා. මට තේරුණ විදිහට ඒක මට ගැලපුනේ නෑ. පසුව මම කලර් චිතපටය ආරම්භ කළා. මම කලර් තුලින් බොහෝ දේ
ඉගෙන ගත්තා. මගේ ගමන් මඟ හරිම අවිධිමත් එකක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් ඒක එහෙම තමයි.
වෙළඳ දැන්වීම් ක්ෂේතයට පිවිසීම ඔබට සිනමාවට පිවිසීමේ මාර්ගය විවෘත කර දුන්නාද?
ඔව්. පැහැදිලිවම.
ගෙදරින් ලැබුන සහයෝගය එහෙම කොහොමද?
මුල් කාලෙ මම මේ ක්ෂේතයට එනවට කිසිම කැමැත්තක් ගෙදරින් තිබුනෙ නෑ. මට තිබුන බලවත් උනන්දුව නිසාම මම ආව ගමනක් මේක. ඒත් පස්සෙ
ඒ අය තේරුම් ගත්ත මට මේ මාවතේ දිගු ගමනක් යන්න පුළුවන් බව. ඒ වගේම මේ වෙලාවෙ මතක් කරන්නම ඕනෙ කිහිප දෙනෙක් ඉන්නවා.
එයාල ගුරුවරු නොවුනත් සැබෑ මඟපෙන්වීමක් මට දෙමින් මේ තරම් දුර ගමනක් සාර්ථකව එන්න ඔවුන්ගේ අත්දැකීම් හරහා මට උපකාර කළා.
ඒ අය තමයි ජගත් රවීන්ද, සුදත් අබේසේකර, ආනන්ද ගමගේ, තිස්ස සුරේන්ද සහ පියන්ත මලවිගේ. ඔවුන් අතරෙනුත් තිස්ස සුරේන්ද මගේ
සිනමා පටය සංස්කරණයෙන්ද පියන්ත මලවිගේ එහි කැමරාකරණයෙන්ද මට සහය දැක්වූවා.
සිනමා කෘතිය නිර්මාණයේදී මෙරට සිටින ජේෂ්ඨ සිනමා ශිල්පී රවින්ද රන්දෙණිය මහතා ඔබත් සමඟ සිටියා නේද?
ඔව්, තිර පිටපත තියවීමේ සිටම ඔහු මා සමඟ සිටියා. මගේ කෘතියේ ඔහුටත් චරිතයක් තිබුනා. ඒත් පුද්ගලික හේතුවක් මත එතුමාට මගේ කෘතිය සමඟ
එක්වන්නට බැරි වුනා.
මෙම සිනමා පටයේ පධාන චරිතයට පණ පොවන්නේ මෙරට සිටින අසහාය රංගන ශිල්පියෙක්. ඔහු සමඟ කටයුතු කිරීමේදී නවක අධ්‍යක්ෂක වරයෙක්
හැටියට ඔබ අසීරුතාවයන්ට පත්වුනේ නැද්ද?
කමල් අද්දරාරච්චි කියන පරිණත ශිල්පියා තමයි මෙහි පධාන චරිතය රඟපාන්නෙ. හැබැයි කවදාවත් කමල් අයිය මාව අසීරුතාවයකට පත්කරේ නෑ. මම
හැම වෙලාවකම කමල් අයියට දෙන්න ඕනෙ ගෞරවය දුන්න. ඒ වගේම ඔහුත් අධ්‍යක්ෂක වරයා හැටියට මට හිමිවිය යුතු ගරුත්වය දුන්නා. කමල් අයියගෙ
සමාජයීය අත්දැකීම් සෑහෙන්න තියෙනවා. සිනමාවෙදි වුනත් එහෙමයි. මගේ නිර්මාණය සාර්ථක කර ගැනීමට සෑම විටෙකම මා හා සුහදව කතා කරමින්
ඔහු සතුවූ ඒ දැනුම මට ලබා දුන්නා.
කමල් වැනි පරිණත ශිල්පියෙකු සමඟ මෙහි රඟපාන නිළිය නවක නිළියක්. ඒ ඇයි?
ඔව්. මේක සඳනිගේ පළවෙනි සිනමා නිර්මාණය. හැබැයි මට අවශ්‍ය වුනෙත් ඒ දේමයි. මොකද මේ කතා තේමාව එවැන්නක්. හැබැයි මම හිතන්නේ
සඳනි මගේ චරිතයට සාධාරණයක් ඉටු කලා.
මේක වාණිජ ආරේ සිනමා කෘතියක්ද නැත්නම් කලාත්මක සිනමා කෘතියක්ද?
මෙහෙමයි. සිනමා කෘතියක් කලාත්මක වෙන්න ඕනේ. නැත්නම් ඒක කලා කෘතියක් නෙවෙයි. හැබැයි එයට වාණිජමය වටිනාකමක් තිබිය යුතුයි. ඒ
කියන්නේ නිර්මාණය තුලින් කලා කරුවාට ඉපැයීමක් තිබිය යුතුයි. මගේ කෘතිය මේ දෙකේම සංකලනයක් කියල හඳුන්වන්න කැමතියි.
මේ විදිහට සිනමාව වර්ග කිරීම තුළ රසිකයාත් වර්ගීකරණය වෙනවා. කලාත්මක සිනමාවට ලැදි අය වාණිජ සිනමාව හෙළා දකිනවා.
වාණිජ සිනමාව ලැදි අය කලාත්මක සිනමාව හෙළා දකිනවා. ඒ වගේම මගේ කෘතිය තුළ රසිකයාට හිතන්න යමක් ඉතිරි කරල තියෙනවා. ඒ කියන්නේ
කතාවේ අවසානය මේකයි කියල කියන්නෙ නෑ. ඒක නිසා රසිකයාට පුළුවන් තමන් රසවින්ද මට්ටමේ සිට සිනමා කෘතියේ අවසානය දකින්න.
එය නිර්මාණය වන්නේ රසිකයාගේ මනස තුලයි.
ඔබ මේ නිර්මාණය කළේ සම්මාන උළෙලක් අරමුණු කරගෙනද?
නෑ. නිර්මාණය කළේ එහෙම අරමුණකින් නෙවෙයි. නමුත් මම මේ කෘතිය සම්මාන උළෙලවල් සඳහා ඉදිරිපත් කරනවා. කොහේ හෝ තියෙන සිනමා
උළෙලකදී සම්මානයක් ලබාගෙන ඒ සම්මානය පෙරටු කරගෙන මගේ කෘතිය රසිකයන්ට දායාද කරන්න මට අවශ්‍ය නෑ. මුලින්ම රසිකයන්ට දායාද කරල
පසුව සිනමා උළෙල සඳහා ඉදිරිපත් කරන්නේ අන්න ඒ නිසයි.
අවසන් වශයෙන් අපට කියන්න, මෙම කෘතිර අපේ රසිකයන් වෙත තිළිණ කරන්නේ කවදාද?
බොහෝ විට මේ වසර අවසානයේ.



