Avatar of iilanka

by

SAARC

January 4, 2012 in Sinhala, Sinhalen

දකුණු ආසියානු රටක් වශයෙන් අප සාර්ක් සංවිධානයේ සාමාජිකත්වය දරන්නෙමු. කුමක්ද මේ සාර්ක් සංවිධානය. දකුණු ආසියානු කලාපීය  සහයෝගීතා සංවිධානය එසේත් නැතිනම් South Asia Association for Regional Corperation යනු 1947 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මුල්වරට සංකල්පයක් වශයෙන් බිහිවූ සංවිධානයකි. නමුත් බොහෝ කලක් යනතුරු මෙය යථාර්ථයක් බවට පත්වූයේ නැත. මුල් වරට බංගලාදේශයේ හිටපු ජනාධීපති වරයෙකු වූ  ශියා- උර්රහමාන් විසින් 1980 වසරේදී කලාපීය සහයෝගීතාවය පදනම් කරගෙන සිය දූතයන් සෙසු රටවල් වලට පිටත් කර හැරීම සාර්ක් සංවිධානයේ බිහිවීමේ මුල්ම අදියර ලෙස සැලකිය හැකිය. ඉනික්බිති 1981 වසරේදී යළිත් වරක් මෙම කලාපීය රටවල රාජ්‍ය ලේකම් වරු ශී ලංකාවේදී මුණගැසී කලාපීය සංවිධානයක් බිහිකිරීමේ වැදගත්කම සාකච්ඡා කරන ලදී. 1983 වසරේ පැවති දෙවන සමුළුවෙන් අනතුරුව 1985 වසරේදී කලාපීය රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් බංගලාදේශයේ ඩකා අගනුවරදී  මුල්ම සාර්ක් සම්මත කරගැනීම සිදුවූ අතර මුල්ම සාර්ක් සමුළුව පවත්වන්නට යෙදුනේ 1986 වසරේ ඉන්දියාවේ දිල්ලි නුවරදීය.

නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටා ඇති සාර්ක් මහ ලේකම් කාර්යාලය පිහිටවූයේ 1987 වසරේදීය. ලෝක ජනගහනයෙන් 20%ක් පමණ සාර්ක් සංවිධානය නියෝජනය කරන රටවල වෙසෙති. ආරම්භක අවධියේදී රටවල් හතක සාමාජිකත්වය තිබූ සාර්ක් සංවිධානය මෑතකදී සිදුවූ ඇෆ්ගනිස්තානයේ එක්වීමත් සමඟ රටවල් අටක සාමාජිකත්වයෙන් නිර්මිත ජාත්‍යන්තර සංවිධානයක් වී ඇත. ඇෆ්ගනිස්තානය හැර බංගලාදේශය, නේපාලය, භූතානය, ඉන්දියාව, පකිස්ථානය, මාලදිවයින සහ ශී ලංකාව යන රටවල් මෙලෙස සාර්ක් සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් වේ. සාර්ක් සමුළුවේ ඇති තවත් එක් සුවිශේෂී ලක්ෂණයක්නම් මේ සමුළුව සඳහා රාජ්‍ය නායකයා හැර විශේෂ දූතයන් හෝ නියෝජිතයන් සහභාගී කරවීමට නොහැකි වීමයි. ඒ අනුව 1991 වසරේ කොළඹදී පවත්වන්නට යෙදුනු සාර්ක් සමුළුව භූතානයේ රාජ්‍ය නායකයා වෙනුවට විශේෂ දූතයෙකු එවීම නිසා අත්හිටූවන ලදී. රාජ්‍ය නායකයන්ගේ සමුළුවට අමතරව විදේශ ඇමති වරුන්ගේ සමුළුව සහ විදේශ ලේකම් වරුන්ගේ සමුළුවද මෙහිදී පැවැත්වේ. සාර්ක් මහ ලේකම් කාර්යාලය සංවිධානයේ පරිපාලන මධ්‍යස්ථානයයි. කලාපීය සහයෝගීතාවය උදෙසා රාජ්‍ය නායකයෝ ආරක්ෂාව, සෞඛ්‍යය, තස්තවාදය මර්ධනය, සාර්ක් වරණාත්මක ගිවිසුම හෙවත් SAPTA සහ සාර්ක් නිදහස් වෙළඳ ගිවිසුම ආදී ගිවිසුම් ගනනාවකට එකඟ වී ඇත.

Comments are closed.