Profile photo of iilanka

by iilanka

ලක් මෑණියට තිලකයක් බඳු වූ ලංකාතිලකය

April 27, 2013 in Sri Lanka

කොළඹ නුවර පාරේ අලකොලංග නගරයෙන් හැරී මඳක් දුර ගමන් කරද්දී ලංකාතිලක විහාරය වෙත ළඟා විය හැකි ය. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් හියාරපිටිය ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේ. ‘පන්හල්ගල’ නම් ඓතිහාසික නාමයෙන් හඳුන්වන පර්වතයක් මුදුනේ වන ගල් තලාවක් මත විහාරය ඉදිකර ඇත.

මෙම සෙල් තලාව මත චෛත්‍යයක් මෙන්ම බෝධීන් වහන්සේ ද දකින්නට ලැබුණ ද ලංකාතිලක විහාරය කියූ පමණින් අපගේ සිතෙහි ඇඳෙන්නේ එහි වන මතකයේ රැඳෙන විහාර මන්දිරය යි. ගම්පොල යුගයේ ප්‍රථම රජ වන iv වන බුවනෙකබාහුගේ නියමයෙන් සේනාලංකාධිකාරි සෙනවිතුමාගේ මූලිකත්වයෙන් මෙම විහාර මන්දිරය ඉදිකර ඇති අතර මෙහි බුද්ධ රූපයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර ඇත්තේ වර්ෂ 1344 වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකදී ය.

ලංකාතිලකය ගොඩනැගෙන්නේ ඊට පෙර බෝධිකොටුව නම් විහාරස්ථානයක් පැවැති බිමක ය. එක් කලෙක සේනාලංකාධිකාරී ඇමතිතුමා සීලවංශ ධර්මකීර්ති හිමි සමඟ භාරතයේ ‘ ධාන්‍යකටකයේ’ එක්ව වාසය කර එහි ගල් විහාරයක් ඉදි කළ බව ගඩලාදෙණිය ධර්මකීර්ති ශිලා ලේඛනයේ සඳහන්ව තිබේ. මේ දෙදෙනා ලංකාවට පැමිණීමෙන් පසුව භාරතයේ දී ලද අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් විෂම වූ ගල්තලාවක් මත ඔපමට්ටම් කළ කළු ගලෙන් පාදම නිමවා ඒ මත ගඩොලින් සහ හුනු බදාමයෙන් සිව් මහලින් සැදි විහාර මන්දිරය සෙනෙවිතුමා විසින් සාදවනු ලබයි.

පොළොන්නරු ගෘහ නිර්මාණයන්හි දකින්නට ලැබෙන හින්දු ආභාෂයත් මෙතැනට ද මුහුවී තිබේ. එහෙත් ඒ තුළ අපගේ සම්ප්‍රදායික ලක්‍ෂණයන් ද ගැබ්වී තිබෙන අතර අස්ගිරි ගෙඩිගේ මහනුවර නාථ දේවාලය, ගඩලාදෙණිය විහාරයේ ද මීට සමාන ලක්‍ෂණ දකික්නට ඇත. මෙහි විහාර නිර්මාණ ශිල්පියා, ‘ස්ථාපතිරායර්’ නැමැත්තෙකි. විහාරයේ ආකෘතිමය ලක්‍ෂණ අනුව නිර්මාණ ශිල්පියා දකුණු ඉන්දියානුවකු විය හැකි බව විශ්වාස කෙරෙ යි.

iv වන බුවනෙකබාහු රජතුමාගේ රාජාභිෂේකයට මුල්වී කටයුතු කළ සේනාලංකාධිකාරී ඇමැතිතුමා අගමැති තනතුර ද හොබවමින් රජතුමාට පමණක් දෙවැනි වූ ප්‍රබල තත්ත්වයකට පත් වූ වෙකි. එසේම එතුමාගේ පාරම්පරික ගම ‘සිදුරුවාන’ ය. එම පරවේනී ගම ආසන්නයේ මෙම විහාරස්ථානය තම අභිමතය පරිදි ගොඩනැංවීමට තරම් බලයක් ද සෙනවිතුමාට තිබුණි. ඒ නිසාම මෙම විහාර මන්දිරය ඉතිහාස විහාර වංශ කතාවේ අලංකාරවත් වූ ස්මාරකයක් බවට පත්ව තිබෙ යි. විහාරය ගොඩ නැංවීමට මසුරන් තුන් කෙළ සැට ලක්‍ෂයක් වැයවූ බව ද සඳහන් වෙයි.

ලංකාතිලක විහාරය ප්‍රථමයෙන් සිවුමහල් ආකාරයෙන් ඉදි කළ ද අද අපට දැක ගැනීමට ලැබෙන්නේ මහල් දෙකකි. vi වැනි පරාක්‍රමබාහු රාජ්‍ය යුගයේදී ( ව්‍ය. ව. 1412 – 1467) මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ ද මෙය ප්‍රතිසංස්කරණය වි ඇත. චෝල ආක්‍රමණිකයන්ගෙන් මෙන්ම ඔවුන්ට පසුව පැමිණි පෘතුගීසි ලන්දේසි යුගවලදී මෙම විහාර මන්දිරයට ද ආපදා විපත් සිදුවිය. අනෙක් පසින් කාල විපත් වලින් ද පහර වදින විට විහාර මන්දිරය ගරා වැටීමට ලක්වී ඇත. උනම්බුවේ දිසාපතිතුමා 1844 වසරේදී මෙය තරමක් දුරට ප්‍රතිසංස්කරණය කළ ද ගරා වැටීම නො නැවතුණි. 1961 වසරේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නැවත පිළිසකර කරන ලදී. කලක් තිස්සේ පැවැති ව්‍යසනයන්ට නතුව එහි මුල් ස්වරූපයේ ඇතැම් ලක්‍ෂණ ඇකී මැකී ගොස් ඇතත් එය අදටද විරාජමානව බොදුනුවන් වෙනුවෙන් නෑගීසිටී.

තොරතුරු පුවත්පත් ඇසුරෙනි.

Profile photo of iilanka

by iilanka

අළුත්ම කෝටිපතියෝ

April 27, 2013 in Sri Lanka

සතපහක් අතේ නෑ යනුවෙන් කියන්නට හුරු වූ සමාජයක කෝටියක් යනු බොහෝ දෙනෙකුට සිහිනයක්ම පමණකි. එහෙත් ඒ සිහිනය සැබෑවක් කරගන්නට සමත් වූවෝ ද සමා‍ජයේ වෙසෙති. හුදෙක් උත්සාහය නිසා හෝ වාසනාව නිසාම පමණක් ළඟාවිය හැකි ඉලක්කයකි කෝටිපතියෙකු වීම. 2013 මාර්තු ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර ෂෝබස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව එවැනි, ලොව මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 100 දෙනකුගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙයින් ලොව පළමු කෝටිපතියා ලෙස නම්කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 73ක වත්කමක් ඇති මෙක්සිකෝ ජාතික කැරොල් ස්ලිම් හේලු නම් පුද්ගලයාය. දෙවැනි ස්ථානය අමෙරිකානු ජාතික බිල් ගේට්ස් හිමිකරගන්නේ වත්කම ඩොලර් බිලියන 67 ක් ලෙසින් සටහන් කරගෙනය. තුන්වන ස්ථානය ස්පාඤ්ඤ ජාතික අවන්සිපෝ ඔටේගාය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 57කි.

මුල් පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් 10 දෙනා අතර එකම එක කාන්තාවක් ද සිටින්නීය. ඇය ප්‍රංශයේ ලලියානේ බෙටන්කෝට්ය. අගේ වත්කම ඩොලර් බිලියන 30කි. මෙම මුල් පෙළේ කෝටිපතියන් 100 දෙනා ගෙන් 37 දෙනකුම ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයන් ය. පස් දෙනකු රුසියානු ජාතිකයන් වන අතර එක් අයකු චීන ජාතිකයකු ය. කෝටිපති ව්‍යාපාරිකයන් අතර ලාබාලම කෝටිපති ව්‍යාපාරිකයා වන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හිමි ඇමෙරිකා ජාතික 28 හැවිරිදි මාක් සකර් බර්ග්ය. ගනන් බලා ඇති අන්දමට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 13.3කි.
_______________

තොරතුරු පුවත්පත් ඇසුරෙනි.

Profile photo of iilanka

by iilanka

සතුටට ඉඩදී දිවිය කෙටිකරගන්නෝ….

April 27, 2013 in Sri Lanka

මෙරට තුළ ඒඩ්ස් රෝගීන්ගේ වාර්තා වීම වාර්ෂිකව ඉහළ යාම හේතුවෙන් රට පුරා රෝගය වසංගතයක් දක්වා පැතිර යාමේ අවදානමක් පවතින බව මේ වන විට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසා සිටී. තව දුරටත් සාධක ගෙනහැර දක්වන ඔවුන් පවසා සිටින්නේ මේ වසරේ පළමු කාර්තුව සඳහා රෝගීන් 44 දෙනකු වාර්තා වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු කාර්තුවට වඩා හතරදෙනකුගේ වැඩි වීමක් බවත්ය. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පසුගිය දිනෙක පුවත් පතකට පවසා සිටියේ එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 5000 ක් පමණ රට පුරා සිටින බවට ඇස්තමේන්තු කර තිබුණත් ඊට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වීම ගැටලුකාරී බවත් රෝගය පිළිබඳ නොදැනුවත්කම සහ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් නිසා රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත්ය.

මේ වසරේදී පළමු කාර්තුවට අයත් ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවලදී එච්.අයි.වී.ඒඩ්ස් රෝගය ආසාදනය වූ පුද්ගලයන් 9 දෙනකු මරණයට පත් වූ බව ද පවසන ඒ මහතා පුවත්පතට තව දුරටත් පවසා තිබුනේ පසුගිය වසරේදී ඒඩ්ස් රෝගීන් 186 දෙනකු වාර්තා වී ඇති අතර වසර 1980 සිට මේ දක්වා රට පුරා රෝගීන් 1693 දෙනකු වාර්තා වී ඇති බවත් ය. 1980 වසරේ සිට මේ දක්වා මෙරට තු ඒඩ්ස් රෝගීන් 292 ක් මරණයට පත්ව ඇත. මවගෙන් දරුවාට රෝගය වැළඳුණු දරුවන් 60 දෙනකු ද වාර්තා වී තිබේ. රෝගය වැළඳුණු 1693 දෙනාගෙන් 1010 ක් පිරිමි පුද්ගලයන් වන අතර 683 දෙනකු කාන්තාවන් වේ.

වෛරසය ශරීරගත වී වසර දහයක් පමණ ගත වන තෙක් ඇතැම් විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වීම හේතුවෙන් ඒඩ්ස් ආසාදිතයාගේ ජීවිතය අවදානමකට ලක්වේ. ලිංගික වෘත්තියේ යෙදෙන්නන්, එන්නත් මඟින් මත්ද්‍රව්‍ය විද ගන්නන්, පිරිමි සමලිංගිකයන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් කණ්ඩායම් ලෙස හඳුනාගෙන තිබේ. අලුතින් වාර්තා වන රෝගීන් බිංදුව දක්වා අඩු කර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉලක්කය වන අතර ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ඉලක්කය ද එය වන බව වෛද්‍ය සිසිර ලියනගේ මහතා තව දුරටත් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුනි.

තොරතුරු පුවත්පත් ඇසුරෙනි.

Profile photo of iilanka

by iilanka

පන්නිලෙන් හමුවූ බළන්ගොඩ නෑයෝ

April 10, 2013 in Sri Lanka

ලංකාව ආදි මානවයන් ජිවත්වු රටක් බවට බළන්ගොඩ මානවයාගේ පොසිල හමුවීමෙන් පසු පුරා විද්‍යාඥයන් නිගමනය කරන්නට විය. එම පොසිල හමුවූයේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටදොඹ ලෙනේ පස් ස්ථර කිහිපයක් යට තිබීමෙන් ය.

මේ ආදි මානවයා හොමෝ සේපියන් සිංහලීන්ස් බළන්ගොඩනික්ස් (Homo Sapien Sinhalins Balangodaencis) හෙවත් අප කවුරුත් දන්නා බළන්ගොඩ මානවයායි. මෙම මානවයා ගල්ගුහා ආශ‍්‍රීතව ජිවත්වූ, ගොලූබෙල්ලන් ආහාරයට ගත් බවට වු සාධකත් සහ ගල් ආයුධ ඔවුන් විසින් භාවිතා කරන්නට ඇති බවත් පුරා විද්‍යාඥයන්ගේ මතය වේ. මෙම බටදොඹ ගල්ගුහාව පිහිටා ඇති ස්ථානය අනුව සැලකීමේදී එහි සිට ශ‍්‍රීපාදය තෙක් ඇත්තේ කිලෝ මීටර් පහළොවක් දහ අටක් තරම් වූ දුරකි. ඉන් බටහිර ප‍්‍රදේශයේ ඇත්තේ මිටියාවතකි. නැගෙනහිරට, උතුරට සහ දකුණට ඇත්තේ කදු පන්ති කිහිපයක් ය. බටදොඹ ලෙනේ සිට කිතුල්ගල බෙලිලෙනට ඇත්තේද කිලෝමීටර් විසි පහකට නොවැඩි දුරකි. බෙලිලෙනෙන් ද පුරා විද්‍යා සාධක හමුව තිබේ.

එහෙත් ආදි බළන්ගොඩ මානවයා විසු බටදොඹ ලෙනට උතුරින් ඊට කිලෝ මීටර් අටක දහයක දුරකින් පිහිටි ගල් ලෙනකින් ආදි මානවයන් විසූ බවට සැක සිතිය හැකි සාධක රැසක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු කණ්ඩායමක් පසුගිය දිනවල සිදුකළ පර්යේෂණයකින් පසු නිරික්‍ෂණය කර තිබේ. කිතුල්ගල බෙලිලෙනත් බටදොඹ ලෙනත් අතර මැදවු ප‍්‍රදේශයකින් මෙම ලෙන හමුවී තිබේ.

නාවල විවෘත විශ්ව විද්‍යාලයේ අරවින්ද රවිභානු සුමනරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් වන සමිත් පවිත‍්‍ර කුමාරසිංහ සහ රොහාන් ඉන්දික විජේතුංග මෙම පරීක්‍ෂණය කළ ශිෂ්‍යයින් තිදෙනායි.

ශ‍්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ඒකකයේ සාමාජිකයන් වූ මොවුන් මීට අවුරුදු තුනකට පෙර එම ආයතනය මඟින් ECO SCIENCE OF INVISIBLE SABARAGAMUWA නමින් ඇරඹි පර්යේෂණ ව්‍යාපෘතියක තුන්වැනි අදියර වශයෙන් සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දෙහි ඕවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්නිල ග‍්‍රාමය ආශ‍්‍රීතව භූගෝල විද්‍යාත්මක පසුබිම පර්යේෂණයන්ට ලක්කර ඇත. එහිදී පන්නිල ගමේ කිරිගල නම් ප‍්‍රදේශයේ ගල් ගුහාවක් ඔවුන්ගේ නිරීක්‍ෂණයන්ට ලක්වී ඇත. එහිදී මේ ගල්ගුහාව තුළ පස්යට තිබි ගොලූබෙලි කටු, ගල් ආයුධවලට සමාන ගල් කැබලි හමුවී ඇත. ඇතැම් තැන්වල ගල් කැබලි ගොඩවල් ද හමුවී ඇත.

‘‘ලංකාවෙන් හමුවූ ආදි මනාවයා වූ හොමෝ සේපියන් සිංහලීන්ස් බළන්ගොඩනික්ස් (Homo Sapien Sinhalins Balangodaencis) ගේ පොසිල තිබුණු බටදොඹ ලෙනට මෙතන ඉදලා ලොකු දුරක් නෑ. කදුකර මග ඔස්සේ කිලෝ මීටර් දහයටත් වඩා අඩු වෙන්න පුලූවන්. ඒ නිසා අපිට ලොකු සැකයන් ඇතිවුණා මේ කිරිගල ලෙන සම්බන්ධයෙන්. තවදුරටත් අපි පර්යේෂණ කරද්දී අපිට ගොලූබෙලි කටු ලෙන තුළවූ පාෂාණ ස්ථර යට තිබිලා හමුවුණා. ඒවා සමහරක් එකම ආකාරයෙන් හිල් කරලා තිබුණා. බටදොඹ ලෙන වගේම මේ ලෙනත් ආදි මානවයන් වර්ෂාවෙන් ආරක්‍ෂා වෙන්නත් රාත‍්‍රිය ගත කරන්නත් යොදාගත්ත තැනක් වෙන්නැති කියලයි අපේ විශ්වාසය.’’ ඒ ඔවුන්ගේ මතයයි.

මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ නිරීක්‍ෂණ අනුව ආදි මානවයා ජිවත්වූ බවට සැකකරන සාධක ඇති කිරිගල අවට අක්කර දෙකක ප‍්‍රදේශයේ උද්භිද වටිනාකමක් ඇති ශාක විශේෂ 250ක් පමණ නිරීක්‍ෂණය වූ බවද පවසයි. ශ‍්‍රී ලංකාවටම ආවේනික වූ නිල් බිනර (Exacum trinervium), නෙථ (Strobilanthes viscosa&) නාවා (Syzygium gardneri), ගල් මොර (Cinnamomum membranacea), කැකුණ (Cmbrium zeylanicum), කටු ඉඹුල් (Boxbax ceiba), නාරිලතා, කොරකහ, ඉරරාජ (Reia trimen)මෙන්ම අනුරාධපුර රිටිගල කන්දේ දී හමුවන උඩවැඩියා විශේෂ දෙකක්වූ Oberonia thwaitesli සහ Vanda testacea යන විශේෂ ද හමුවූ බව ඔවුහු කියති.

ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ස්වාභාවික විද්‍යා පීඨයේ මහාචාර්ය එල්.කේ. සේනාරත්න, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි අධ්‍යායතනයට එක්වෙලා කටයුතු කරන කමල් අබේවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමලත් සහකාර අධ්‍යක්‍ෂවරයෙක් වූ එම්.ඒ.අයි.ආර්. මඩගම්මන යන මහත්වරුන්ගේ උපදෙස් මොවුනට මෙම පර්යේෂණ කටයුතු සඳහා මහෝපකාරී වී ඇත.

පුවත්පත් සාකච්ඡාවක් ඇසුරෙනි

Profile photo of iilanka

by iilanka

විප්ලවය නිහඩ විය

April 10, 2013 in Sri Lanka

”අපි අපගේ පියාණන් වූ බොලිවර් සමග එකම බළඇණියක කඳු ශිඛර තරණය කළෙමු. දෙවියන් වහන්සේට ස්තූති වේවා. මාගේ මිනිසුන්ට ස්තූති වේවා. මගේ ජීවිතයට ස්තූති වේවා. හැමවිටම ජයග‍්‍රහණය වෙනුවෙන්. අපි ජයග‍්‍රහණය කරන්නෙමු. මා ආපසු එනතෙක් ඔබට ජයවේවා!” 2011 ජූනි මස 30 වැනි දින කියුබාවේ හවානා නුවර සිට ලතින් ඇමෙරිකාවේ විප්ලවීය නායකයා අවසන් වරට සිය ජනතාව අමතා එසේ පැවසීය.

වෙනිසියුලාවේ බරිනාස් තණබිම් ආශ‍්‍රිතව දරුවන් හය දෙනකුගෙන් සමන්විත ගුරු පවුලක දෙවැනි දරුවා ලෙස 1958 ජූලි 28 වැනිදා හියුගෝ චාවේස් මෙලොව එළිය දුටුවේය. ඔහුගේ කුඩා අවදිය ගෙවෙන්නේ සිය මිත්තණිය වූ රෝසා ඉනේස් සමග ඇයගේ නිවසේය. කුඩා චාවේස් බේස් බෝල් ක‍්‍රීඩාවට කෙතරම් ඇලූම් කළේද යත් බේස් බෝල් ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා ඔහු වයස අවුරුදු 16දී යුද හමුදාවට බැඳෙන්නේය. අවසානයේදී ඔහු ලූතිනන් කර්නල් තනතුර දක්වා උසස් විය. හමුදා නිලධාරියකුව සිටිමින්ම 1992 පෙබරවාරි මස ඔහු එවකට වෙනිසියුලාවේ ජනාධිපති කාර්ලෝස් ඇන්ඩෙ‍්‍රස් පෙරෙස්ගේ පාලනයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවන්නේය. එහෙත් එම කැරැල්ල අසාර්ථක වන අතර චාවේස් අත්අඩංගුවට විය. ඉන් අනතුරුව ඔහු විසින් කරන ලද රූපවාහිනී ප‍්‍රකාශයේදී ඔහු සිය සගයින්ට පවසන්නේ කැරැල්ල ”දැනට” පරාජය වූ බැවින් අවි බිම තබන ලෙසයි. ඔහුගේ මෙම ප‍්‍රකාශයෙන් ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටි ජනතාව තුළ වූ බලාපොරොත්තු තවදුරටත් ජීවත් කරවන්නක් විය.

පුරා වසර දෙකකට අධික කාලයක් තිස්සේ සිරගතව සිටින්නට ඔහුට සිදුවූ අතර ඒ පිළිබඳව අලෙයිඩා ගුවේරා (චේ ගුවේරාගේ දියණි) සමග මෙසේ පවසා තිබුණි. ”පුරා වසර දෙකකුත් මාස දෙකක් මා සිරගත කරනු ලැබුවා. ඒ කාලය තුළ බොහෝ දේ ඉගෙන ගැනීමට මට අවස්ථාව ලැබුණා. මට නම් සිරගෙය එක්තරා පාසලක්. එහිදී ආත්මය වානේ මෙන් ශක්තිමත් වෙනවා. දැඩි විශ්වාසයන් තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම අවබෝධය ගැඹුරු වෙනවා. යම් දැක්මක් සහිතව ඒ දෙස හැරී බලනවා නම් ඒ මුළු කාලය මුළුල්ලේම අප දැනුම්වත් සිරකරුවන් වුණා. අපි අභිමානයෙන් යුත් සිරකරුවන් වුණා. සිරගෙයි වැටී සිටින්නේ කුමක් නිසාදැයි හොඳින් දැන සිටි සිරකරුවන් වුණා.

සිරෙන් නිදහස් වී වසරකට පසුව 1995 දී පෙබරවාරි 4 කැරැුල්ලේ තෙවැනි සංවත්සරය සමරණ අතර 1998 දී චාවේස් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඔහුගේ ප‍්‍රතිවාදියා වූයේ වරක් ලෝක රූ රැජිනක් වූ ඉරිනි සඑන්ස් ය. සාධාරණ මැතිවරණයක් ලෙස කිසිසේත්ම හැඳින්විය නොහැකි එම මැතිවරණයෙන් 68%කට අධික ඡන්ද ප‍්‍රතිශතයකින් ඉරිනි ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. දේශීය ධනපතියන්ගේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ සම්පූර්ණ සහයෝගය හිමිවන්නේ ඇයටය. එහෙත් අවසානයේ 1998 දෙසැම්බර් මස 6 වැනි දින ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ හියුගෝ චාවේස්ය.

ජනාධිපති ධුරයට පත්වූ චාවේස් වෙනිසියුලාව ”වෙනිසියුලා බොලිවේරියානු ජනරජය” ලෙස නම් කරන අතර ජනමත විචාරණයක් ඔස්සේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා නව වෙනිසියුලාවක් ගොඩනැගීමේ කර්තව්‍යයට මුල පුරන්නේය. මෙය එතරම් ලේසි පහසු කාර්යයක් නොවන්නේ තෙල් සම්පතින් සපිරි රටක් වුවද එක්සත් ජනපද වුවමනා එපාකම් මත කලින් සිටි රජයන් වෙනිසියුලාව ආර්ථික අගාධයේ පත්ලේ ගිල්වා දමා තිබූ හෙයිනි. චාවේස් වෙනිසියුලාව භාරගන්නා විට උද්ධමනය 35%කටත් වැඩිවූ අතර විරැකියාව 20% ඉක්මවීය. දිළිඳු බව රටපුරා පැතිර තිබුණි. මෙම අභියෝග ජයගැනීම සඳහා චාවේස් ”බොලිවර් 2000 සැලැස්ම” ක‍්‍රියාත්මක කරන්නේය. වසර 2002 දී චාවේස්ගේ පාලනයට එරෙහිව හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවන අතර චාවේස් අත්අඩංගුවට ගෙන පෙඞ්රො කාමෝනා බලය අල්ලා ගත්තද දින තුනකට වඩා බලය රඳවා ගැනීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැත. හමුදා කුමන්ත‍්‍රණයට එරෙහිව වීදි බසින මිලියන ගණනක ජනතාව නිසා බලය අල්ලා ගැනීමේ අදහස අතහැර දමන්නට කාර්මෝනාට සිදුවිය. විස්මයජනක පැය 72ක කාලය තුළදී සිය දිවි ගලවා ගැනීමට සමත්වන චාවේස් යළිත් බලයට පත්විය.

එතැන් පටන් තමන්ගේ ප‍්‍රියතම ඇඳුම වන හමුදා නිල ඇඳුම සහ රතු පැහැති හමුදා හිස් වැස්ම පැළඳි චාවේස් වෙනිසියුලාව තුළ පමණක් නොව සමස්ත ලතින් ඇමෙරිකාවේම මෙන්ම සමස්ත ලෝකයේම ජනප‍්‍රිය චරිතයක් බවට පත්වන්නේය. ඔහුට එරෙහි එක්සත් ජනපද ප‍්‍රචාරණ යාන්ත‍්‍රණ ඔහු මුසෝලිනි කෙනෙකු නැතිනම් තවත් ෆිදෙල් කැස්ත්‍රෝ කෙනකු ලෙස හඳුන්වන ලදී. එපමණක් නොව ඔහු නිදාගන්නේ හිට්ලර් විසින් රචිත ග‍්‍රන්ථයක් කොට්ටය යට තබාගෙන බවද ප‍්‍රචාරය කෙරුණි. එහෙත් සැබෑ චාවේස් කවුද යන්න ජනතාව දැන සිටියහ.

රෝගී තත්වයකින් පීඩා විඳිමින් ශාරීරිකව කෙතරම් දුබල වුවද ඔහු පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දින පැවැති මැතිවරණයටද ඉදිරිපත් වූ අතර ඉන් ජයග‍්‍රහණය කළේ තවත් වසර හයක කාලයක් සඳහා වෙනිසියුලාව පාලනය කිරීමේ ජනවරම ලබා ගනිමිනි. කෙසේ වුවද දෛවය ඒ සඳහා ඔහුට ඉඩ ලබා නොදීම ඔහුගේ ජීවිතය උදුරා ගන්නේ කියුබාවේ හවානාහිදී තවත් සංකීර්ණ ශල්‍යකර්ම හතරකට මුහුණදීමෙන් අනතුරුවය. එහෙත් මිනිසුන්ට පොදු ධර්මතාව අනුව යමින් චාවේස් ද අවසන් ගමන් නික්ම ගොස් ඇත.

අන්තර්ජාලය සහ පුවත්පත් ඇසුරෙන්